Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd April 2024 11:02:42 Hours

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ 136 වන සංවත්සර දිනය වෙනුවෙන් දිවංගත රණවිරුවන් අනුස්මරණය කෙරේ

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අභිමානවත් 136 වන සංවත්සර දිනයට සමගාමීව එම රෙජිමේන්තුවේ දිවංගත රණවිරුවන් අනුස්මරණය කිරීමේ උත්සවයක් 2024 අප්‍රේල් මස 22 දින පැවැත්විණි. ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල්. රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී ගේ ආරාධනයකට අනුව මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය.

රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගෙන රණවිරු ස්මාරකය වෙත කැටුව යනු ලැබීය. උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් ජාතික ගීතය සහ යුද්ධ හමුදා ගීතය ගායනා කිරීමෙන් අනතුරුව රැස්ව සිටි පිරිස ආගමික වතාවත් පැවැත්වීය.

ඉන් අනතුරුව, එම රෙජිමේන්තුවේ දිවංගත රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ද පැවැත්විණි. පසුව, යුද්ධ හමුදාධිපතිතුමන් සමඟින් හිටපු යුද්ධ හමුදාධිපති ජෙනරල් සී.එස්. වීරසූරිය (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී අයිජී ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ දිවංගත රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් එක්ව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුදකළහ.

උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් වීරෝදාර රණවිරුවන්ගේ වීරත්වය සහ නිර්භීතත්වය සිහිකිරීමේ පාඨය කියවීමෙන් අනතුරුව හිරු නැගෙනා මොහොතේදිත් හිරු බසිනා මොහොතේදිත් රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහිකරමින් වැයෙන මලවුන් සිහිකිරීමේ හා පිබිදීමේ වාදනය සිදුකෙරිණි.