Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th June 2023 15:10:43 Hours

ශ්‍රී ලංකා එක්සත් ජාතීන්ගේ සාම සාධක භටපිරිස්හි වෘත්තීය කැපවීම මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ ආඥාපතිතුමන්ගේ පැසසුමට

යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ විශේෂ නියෝජිතයෙකු ලෙස මාලි රාජ්‍යයෙහි නිල සංචාරයක නිරතව සිටින අතර, එහිදී මෙම වසරේ සැප්තැම්බර් මාසයේ සිට මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානය (MINUSMA) මගින් මෙරට භටපිරිස් සංග්‍රාමික රථ ආරක්‍ෂක භට ඛණ්ඩයේ B1 නව කණ්ඩායම (CCC-B1) රාජකාරි යෙදවීමට ප්‍රථම ඒ සබැදිව බමාකෝහි (Bamako) පිහිටි මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇතිකිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ දූත මණ්ඩල ප්‍රධානී බ්‍රිගේඩියර් ජෙනරල් මියුනියර් ජීන්-මයිකල් (Brigadier General Meunier Jean-Michel) සමඟ පසුගිය බ්‍රහස්පතින්දා (29) දින සුහද සාකච්ඡාවක් පවත්වනු ලැබීය.සුහද හමුවේදී මෙරට භටපිරිස් ජීවිත අවධානම සහ භූමියේ දුෂ්කරතා ගැන නොතකා සිදුකරනු ලබන කාර්යභාරය හා එහි වැදගත්කම, මෙරට සාම සාධක මෙහෙයුම්වල කාර්ය සාධනය පිළිබඳව වූ වැදගත් කරුණු කිහිපයක් සාකච්ඡා කරන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික සහ බ්‍රිගේඩියර් ජෙනරල් මියුනියර් ජීන්-මයිකල් (Brigadier General Meunier Jean-Michel), අදහස් හුවමාරු කරගනිමින් මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ සේවය කරන ශ්‍රී ලාංකික භට පිරිස්හි මනා විනයානුකූල කාර්ය සාධනය සහ මාලි රාජ්‍යයේ සාම සාධක කටයුතු සඳහා ඔවුන්ගේ කැපවූ වෘත්තීය දායකත්වය පිළිබඳව ඇගයීමට ලක්කරමින් ඉදිරියේදීත් ශ්‍රී ලංකා භටපිරිස් මාලි රාජ්‍යයේ සාම සාධක රාජකාරි සඳහා යෙදවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන මෙන් ඉල්ලා සිටියේය.

මීට ප්‍රථම මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ (SRSG) විශේෂ නියෝජිත, මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ ප්‍රධානී එම්. එල් ගාසීම් වෝන් (M. El-Gassim WANE) සහ මාලි රාජ්‍යයේ ගාඹ් (Gao) හි වැඩබලන ආඥාපති හා දූත මණ්ඩල ප්‍රධානී සමඟින් ද සාකච්ඡාවක් පැවැත්වීය. එහිදි ඔවුන් දෙදෙනාම මාලි දේශසීමාවේ නව සාමසාධක භටයන් යෙදවීම සහ අනෙකුත් භූමියේ ඇති දුෂ්කරථා සම්බන්ධ ප්‍රායෝගික පැති අධ්‍යනය කළහ. මෙරට සංග්‍රාමික රථ ආරක්‍ෂක භට ඛණ්ඩයේ - B1 බලඇණිය යුද්ධ හමුදා නිලධාරීන් 22 දෙනෙකු සහ සෙසු නිලයින් 243 දෙනෙකුගෙන් සමන්විත වන අතර, ඔවුන් මාලි රාජ්‍යයේ සාම සාධක රාජකාරීන් සඳහා යෙදවීමට පෙර අවශ්‍ය පුහුණුවීම් ලබා ඇත.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික ගාඕ හි පිහිටි සුපිරි කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි අතර, එහිදි මෙරට භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. අනතුරුව එතුමන් එහි රාජකාරි කරනු ලබන 4 සංග්‍රාමික රථ ආරක්‍ෂක භට ඛණ්ඩයේ අණදෙන නිලධාරීන් සහ භටපිරිස් සමගින් සුහඳව අදහස් හුවමාරු කර ගත්තේය. මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සුපර් කෑම්ප් මූලස්ථානය වෙත සංචායේ නිරත වූ අතර එහිදී, මාලි රාජ්‍යයේ රාජකාරියේ යෙදී සිටියදී දිවිපිදූ එක්සත් ජාතීන්ගේ සාමසාධක භටයින් සියලු දෙනා සිහිකරමින් පුෂ්පෝපහාර දැක්වීය. අනතුරුව එතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද මාලි රාජ්‍යයේ දැනට භාවිත කරන සංග්‍රාමික රථ, භටපිරිස් ප්‍රවාහනය කරන සන්නද්ධ රථ, යුනිබෆල්, සන්නාහ සන්නද්ධ රථ ආදියද පරීක්‍ෂා කළේය.මෙම අවස්ථාවට සාම සාධක සංග්‍රාමික රථ ආරක්‍ෂක භට ඛණ්ඩය - B1 කණ්ඩායමේ අණදෙන නිලධාරී කර්නල් එස්.ඩබ්ලිව්.පී.එම්.එච්.ආර් සේනාධීර ආර්ඩබ්පිව්පී ආර්එස්පී පීඑස්සී, 4 සංග්‍රාමික රථ ආරක්‍ෂක භට ඛණ්ඩය භටකාර්ය සම්පාදන නිලධාරි ලුතිනන් කර්නල් එස්.එම් බණ්ඩාරනායක ආර්ඩබ්පිව්පී ආර්එස්පී සහ සංග්‍රාමික රථ ආරක්‍ෂක භට ඛණ්ඩය සැපයුම් හා ප්‍රවාහන අංශ භාර නිලධාරී ලුතිනන් කර්නල් එච්.එම්.ඩබ්ලිව්.ඩබ්ලිව් හේරත් එක් වූහ.