02nd May 2025 15:30:31 Hours
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකාවේ ස්වභාවික පරිසරය ආරක්‍ෂා කරගැනීම වෙනුවෙන් දරණ අඛණ්ඩ උත්සාහයක් වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් තිරියාය වෙරළ තීරය තුළ පැළ සිටවීමේ දැවැන්ත ව්‍යාපෘතියක් දියත් කරනු ලැබීය. යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත ගුවන් සංග්‍රමික බලසේනාවේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කරනු ලබන මෙම පරිසර හිතකාමී ව්‍යාපෘතිය යටතේ වෙරළබඩ ප්‍රදේශය ආරක්‍ෂා කිරීමේ අරමුණින් කැසුරිනා පැළ 2,000 ක් රෝපණය කිරීමට අපේක්‍ෂා කෙරේ.
ගුවන් සංග්‍රමික බලසේනාවේ බලසේනාධිපතිගේ මෙහෙයවීම මත එම බලසේනාවේ 31 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් යුද්ධ හමුදාව සතු සමාජීය හා පාරිසරික වගකීම පිළිබිඹූ කරමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.
පරිසර සංරක්‍ෂණය සඳහා යුද්ධ හමුදාවේ මැදිහත්වීම පිළිබිඹු කරමින් මෙම වැඩසටහනේ ප්‍රථම අදියර 2025 මැයි මස 04 දින ගුවන් සංග්‍රමික බලසේනාවේ බලසේනාධිපති, කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සහකාර ලේකම්, වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් සහ 1 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ සාමාජිකයන් 200 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
මෙම ආරම්භක වැඩසටහනේදී, වෙරළ ඛාදනය හා පාරිසරික හායනයට බෙහෙවින් ගොදුරු වියහැකි කලාපයක් ලෙස හඳුනාගෙන ඇති තිරියාය වෙරළබඩ තීරය තුළ කැසුරිනා පැළ 500 ක් රෝපණය කරන ලදී. මෙම වැඩසටහන මඟින් එම ප්‍රදේශය තුළ පවතින වැලි සහිත පස ඛාදනය වීම වැළැක්වීම සහ ගොඩබිම දෙසට හමා එන දැඩි සුළඟට බාධකයක් ලෙස ක්‍රියා කිරීමට හැකියාව පවතින කැසුරිනා පැළ වෙරළ තීරය තුළ රෝපණය කිරීම මඟින් වෙරළ තීරය ආරක්‍ෂා කරගැනීමට සහ ප්‍රදේශයේ ජෛව විවිධත්වය ද වැඩිදියුණු කිරීමට හැකි වේ.