Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th August 2022 17:47:32 Hours

විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් සාමන්ත වික්‍රමසේන යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකළ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

යුද්ධ හමුදාවේ වසර 34 කට අධික කීර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කරමින් නුඳුරේදී විශ්‍රාම දිවියට පා තබන ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයේ හිටපු සේනාංකාධිපති ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් ජෙනරල් සාමන්ත වික්‍රමසේන සදුදා (08) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවිය.

මෙම සුහද හමුව අතරතුරදී, පාබල හමුදා සාමාජිකයෙකු වශයෙන් මේජර් ජෙනරල් සාමන්ත වික්‍රමසේන යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකරනු ලැබූ සේවය පිළිබඳ ඇගයීමට ලක්කරමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ “යුද්ධ හමුදාව වෙනුවෙන් ඔබ දැක්වූ පක්‍ෂපාතිත්වය සහ අවංකභාවය පිළිබඳ මා නැවත නැවතත් ආවර්ජනය කළ යුතු නොවේ” යනුවෙන් පැවසීය. එමෙන්ම, මෙම සුහද හමුවේදී වර්ෂ 2009 මැයි මාසයට පෙර ත්‍රස්තවාදයට එරෙහිව පැවති මානුෂීය මෙහෙයුමේ උච්චතම අවස්ථාවේදී සැබෑ වශයෙන්ම පාබල හමුදා සාමාජිකයෙකු වශයෙන් විශ්‍රාම දිවියට පා තබන මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සිදුකරනු ලැබූ නිර්භීත භූමිකාවන් පිළිබඳව ද මතකයන් යළි ආවර්ජනය කරන ලදී.

මෙම සුහද හමුවේදී, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ අනාගත සැලසුම් වෙනුවෙන් සිය සුබපැතුම් ද එක්කළේය.

මෙම අවස්ථාව සඳහා සහභාගී වූ මේජර් ජෙනරල් සාමන්ත වික්‍රමසේන ගේ භාර්යාව වන මහාධිකරණ නීතීඥ ලංකා ප‍්‍රදීපිකා මහත්මිය සහ දියණියන් දෙදෙනා වන ජෝර්ජියාවේ වෛද්‍ය විද්‍යාව හදාරන වෙනුරි වික‍්‍රමසේන මෙනවිය සහ විශාඛා විද්‍යාලයේ ඉගෙනුම ලබන ලක්දිනි වික‍්‍රමසේන මෙනවිය සමඟ යුද්ධ හමුදාධිපතිතුමන් සුහද අදහස් හුවමාරුවක නිරත වෙමින් විශ්‍රාම දිවියට පා තබන මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් මානුෂීය මෙහෙයුමේදී සහ අනෙකුත් රාජකාරි අවස්ථාවන්හිදී සිය රාජකාරි කටයුතු නිසි අයුරින් ඉටුකිරීම සඳහා ලබාදුන් සහයෝගය වෙනුවෙන් ඔවුන් වෙත ස්තූතිය පුදකරනු ලැබීය.

ශ්‍රී ලංකා පාබල හමුදාවෙන් බිහි වූ මෙම කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සිය සේවා කාලය තුළ 14 වන සේනාංකයේ සේනාංකාධිපති ධූරයට පත්වීමට ප්‍රථම යුද්ධ හමුදාව තුළ අණදෙන සහ මාණ්ඩලික තනතුරු රැසක් හොබවා ඇත.

මෙම සුහද හමුවේදී, මේජර් ජෙනරල් සාමන්ත වික්‍රමසේන සිය අදහස් දක්වමින් තම වෘත්තීය ජීවිතය තුළ දී යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් සහයෝගය, මගපෙන්වීම, උපදෙස්, දිරිගැන්විම් සහ සුබපැතුම් වෙනුවෙන්ද සිය ස්තූතීය පුදකළේය.

මෙම සුහද හමුව සමාප්තියේ, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් මේජර් ජෙනරල් සාමන්ත වික්‍රමසේන වෙත විශේෂ සමරු තිළිණයක් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් වෙත විශේෂ ත්‍යාගයක්ද ප්‍රදානය කරන ලදී.

වර්ෂ 1988 ඔක්තෝබර් මස 06 දින රත්මලාන ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨය වෙත කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් බැඳී ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකායට එක් වූ මේජර් ජෙනරල් සාමන්ත වික්‍රමසේන සාර්ථක පුහුණුවකින් පසු වර්ෂ 1991 ජනවාරි මස 05 දින ශ්‍රී ලංකා පාබල හමුදාවට අනියුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ විශිෂ්ඨ සේවා කාලයක් සපුරාලමින් වර්ෂ 2022 පෙබරවාරි මස 04 දින එතුමන් මේජර් ජෙනරල් නිලයට උසස් කරන ලදී.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ සේවා කාලය තුළ මව්බිම වෙනුවෙන් සිදුකරනු ලැබූ විශිෂ්ඨ සේවය ඇගයීමට ලක්කරමින් රණ වික්‍රම පදක්කම (තෙවරක්), රණ ශූර පදක්කම (දෙවරක්), උත්තම සේවා පදක්කම, දේශපුත්‍ර පදක්කම, නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම, පූර්ණ භූමි පදක්කම, උතුරු නැගෙනහිර සංග්‍රාමික පදක්කම, රිවිරැස මෙහෙයුම් පදක්කම, 50 වන නිදහස් දින සංවත්සර පදක්කම, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 50 වන සංවත්සර පදක්කම, ශ්‍රී ලංකා සන්නද්ධ සේවා දීර්ඝ සේවා පදක්කම, සේවාභිමානි පදක්කම, සේවා පදක්කම සහ විදේශ සේවා පදක්කම ද එතුමන් වෙත පිරිනමා ඇත.