Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st May 2025 20:37:14 Hours

විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

වසර 34 ක කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් එම්.කේ.එල්.ඒ ද සිල්වා RSP USP nps psc සිය පවුලේ සාමාජිකයන් සමඟින් 2025 අප්‍රේල් මස 30 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:

වර්ෂ 1991 නොවැම්බර් මස 17 දින කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨයේ පාඨමාලා අංක - 09 යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුනු මේජර් ජෙනරල් එම්.කේ.එල්.ඒ ද සිල්වා RSP USP nps psc ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය සහ දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය තුළින් මූලික පුහුණුව සාර්ථකව හැදෑරීමෙන් අනතුරුව දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව 1993 නොවැම්බර් මස 22 දින ගජබා රෙජිමේන්තුව වෙත අනුයුක්ත කරන ලදී. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලද එතුමන් 2025 ජනවාරි මස 18 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය.

2025 මැයි මස 05 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ වීමත් සමඟ යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් විශ්‍රාම ලබන විට ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සේනාවිධායක ධූරය හෙබවිය.

එතුමන් සිය හමුදා දිවිය තුළදී, 8 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ ඛණ්ඩභාර නිලධාරි සහ නිලධාරි අණදෙන, 563 පාබල බලසේනා මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි III (ක්‍රියා සහ පුහුණු), ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පුහුණු අංශයේ නිලධාරි උපදේශක සහ නිලධාරි අණදෙන, 531 බලසේනා මූලස්ථානයේ බලසේනා මේජර්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ මාණ්ඩලික නිලධාරි, ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහකාර සම්බන්ධීකරණ නිලධාරි සහ හයිටි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇතිකිරීමේ මෙහෙයුම් මූලස්ථානය (MINUSTAH) වැනි ප්‍රධාන ධූරයන් රැසක් හොබවා ඇත.

එමෙන්ම, 1 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපදේශක, යුද්ධ හමුදාධිපති යුද සේවා සහකාර, ජනාධිපති ලේකම් කාර්යාලයේ අධ්‍යක්‍ෂ (ආරක්‍ෂක සම්බන්ධීකරණ), 213 පාබල බලසේනාවේ බලසේනාධිපති, යුද්ධ හමුදා මූලස්ථානයේ යුද සේවා ලේකම් ශාඛාවේ සහකාර යුද සේවා ලේකම් II හා සහකාර යුද සේවා ලේකම් සහ ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සේනාවිධායක ධූරය ද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සාර්ථකව හොබවා ඇත.

මානුෂීය මෙහෙයුමේදී දැක්වූ නිර්භීතකම වෙනුවෙන් රණශූර පදක්කමෙන් පිදුම් ලබා ඇති තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි සිය සේවා කාලය තුළ දැක්වූ සුවිශේෂී, කීර්තිමත් සහ පක්‍ෂපාතී සේවය වෙනුවෙන් උත්තම සේවා පදක්කමෙන් ද පිදුම් ලබා ඇත.

එතුමන් සිය හමුදා දිවිය තුළදී, ඛණ්ඩභාර නිලධාරි පාඨමාලාව, ඒකක පරිපාලන පාඨමාලාව, බලඇණි ආධාරක අවි නිලධාරි පාඨමාලාව, කනිෂ්ඨ මාණ්ඩලික පාඨමාලාව, ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාඨමාලාව, යුද්ධ හමුදා අණ හා මාණ්ඩලික පාඨමාලාව, ජාත්‍යන්තර රතුකුරුස කමිටුව වෙතින් යුද්ධ හමුදා අණ හා මාණ්ඩලික විද්‍යාලයේදී පැවැත්වූ සන්නද්ධ ගැටුම් නීතිය පිළිබඳ පාඨමාලාව, ගෝලීය සාම මෙහෙයුම් මුලපිරීමේ එක්සත් ජාතීන්ගේ සිවිල්-හමුදා සම්බන්ධීකරණ නිලධාරි පාඨමාලාව, තරුණ නිලධාරි උපායමාර්ගික පාඨමාලාව - පාකිස්ථානය, කනිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව - ඉන්දියාව, අණ හා මාණ්ඩලික පාඨමාලාව - පාකිස්ථානය සහ ඇමරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර ආරක්‍ෂක කළමනාකරණ පාඨමාලාව වැනි දෙස් විදෙස් පාඨමාලාවන් රැසක් හදාරා ඇත.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨයේ කලාවේදී උපාධිය (ආරක්‍ෂක අධ්‍යයන) ඇතුළු උසස් අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම් ද සපුරා ඇත.