Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th May 2023 11:05:07 Hours

විජයබාහු පාබල රෙජිමේන්තුවේ ඉදිකළ නව ‘මේජර් ජෙනරල් ජාලිය නම්මුණි’ ක්‍රීඩාගාරය විවෘත කෙරේ

විජයබාහු පාබල රෙජිමේන්තුවේ පියා ලෙස සැලකෙන එම රෙජිමේන්තුවේ නිර්මාතෘ මේජර් ජෙනරල් ජාලිය නම්මුණි වෙත දක්වන ගෞරවයක් වශයෙන් කුරුණෑගල, බෝයගනේ ප්‍රදේශයේ ස්ථාපිත එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකරනු ලැබූ ‘මේජර් ජෙනරාල් ජාලිය නම්මුනි’ ක්‍රීඩාගාරය පසුගිය සෙනසුරාදා (මැයි මස 20) දින පැවති උත්සවයකදී මේජර් ජෙනරල් ජාලිය නම්මුණි (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ සුරතින් විවෘත කරනු ලැබීය.

මෙම අවස්ථාවට සපැමිණි මේජර් ජෙනරල් ජාලිය නම්මුණි (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති, යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික සහ 1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන්. මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී ප්‍රමුඛ එම රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව නව ක්‍රීඩාගාරය විවෘත කිරීම සඳහා එතුමන් කැටුව යනු ලැබීය.

පුද්ගලයින් 400 දෙනෙකුට පමණ අසුන්ගැනීමේ හැකියාව ඇති මෙම නවීන ප්‍රමිතීන්ගෙන් සමන්විත ක්‍රීඩාගාරය අංගසම්පූර්ණ කායවර්ධන මධ්‍යස්ථානයක්, ඇඳුම් මාරුකිරීමේ කාමර සහ ප්‍රභූ විවේකාගාරයකින් සමන්විත වේ.

ක්‍රීඩාගාරය විවෘත කිරීමෙන් අනතුරුව මේජර් ජෙනරල් ජාලිය නම්මුණි (විශ්‍රාමික) එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සහ ඒ අවට සිදුකර ඇති නව සංවර්ධන ව්‍යාපෘතීන් පිළිබඳ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූවේය.

සංස්කෘතික නර්තන සංදර්ශනයකින් අනතුරුව නව ක්‍රීඩාගාරය විවෘත කිරීමේ අවස්ථාව සනිටුහන් කරමින් අන්තර් බලඇණි ක්‍රිකට් තරඟාවලියේදී ශූරතාවය සහ අනුශූරතාවය දිනාගත් ක්‍රිකට් කණ්ඩායම් දෙක අතර සුහද ක්‍රිකට් තරඟයක් ද පැවැත්විණි. මෙම උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් එම රෙජිමේන්තුවේ ‘The Salute’ බහුකාර්ය ශාලාවේදී දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී. පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ සාමාජිකයින් සහ රෙජිමේන්තු කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් ද සහභාගී වූහ.