Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th October 2023 21:01:22 Hours

ලෝක ළමා දිනය වෙනුවෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර වෙතින් වැඩසටහන් මාලාවක්

ලෝක ළමා දිනයට සමගාමීව ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී ගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර, එම මූලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා සහ ඒකක වෙතින් ඔක්තෝබර් මස 01 සිට 04 දින දක්වා විශේෂ විනෝදාස්වාද වැඩසටහන් මාලාවක් පවත්වනු ලැබීය.

ලෝක ළමා දිනය වෙනුවෙන් 22 පාබල සේනාංකයේ උපදෙස් මත 15 ශ්‍රී ලංකා පාබල හමුදාව සහ 20 ගජබා රෙජිමේන්තුව විසින් මොල්ලිපොතාන සිංහල මහා විද්‍යාලය සහ පරණ මැදවච්චිය පාසල් පරිශ්‍රයන්හිදී ලෝක ළමා දින වැඩසටහනක් පවත්වන ලදී.

එම වැඩසටහන් සඳහා සහභාගී වූ ළමුන් 455 දෙනෙකු වෙත දිවා භෝජන සංග්‍රහයක් පිරිනමන ලද අතර, 5 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් කන්තලේ ප්‍රදේශයේ වෙසෙන ළමුන් 150 දෙනෙකු වෙනුවෙන් කන්තලේ මූලික රෝහලේදී ළමා රෝග විශේෂඥ වෛද්‍ය තිලක්‍ෂි මදුරප්පෙරුම මහත්මියගේ සහය ඇතිව ලෝක ළමා දින සැමරුම් වැඩසටහනක් පැවැත්විණි.

23 පාබල සේනාංකයේ උපදෙස් යටතේ ස්ථාපිත 7 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව විසින් රොටාව ආලෝකාරාම දහම් පාසලේ සිසුන් 130 දෙනෙකු සඳහා දිවා භෝජන සංග්‍රහයක් පිරිනමන ලද අතර, 12 ගැමුණු ‍හේවා බලකාය විසින් දෙහිඅත්තකණ්ඩිය ශ්‍රී ඉන්ද්‍රසාර ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ දී ළමුන් 22 දෙනෙකු සඳහා අධ්‍යාපනික උපකරණ පරිත්‍යාග කරන ලදී.

ලෝක ළමා දිනය වෙනුවෙන් 232 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් පාසල් ළමුන් 464 දෙනෙකු වෙනුවෙන් කිරාන් මධ්‍ය මහා විද්‍යාලයේදී මත්ද්‍රව්‍ය නිවාරණ දැනුවත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී. 233 පාබල බලසේනාවේ භටපිරිස් විසින් වාකරෙයි මහා විද්‍යාලයේ ගොඩනැගිල්ලක් අලුත්වැඩියා කරදුන් අතර, 9 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරීතුමන් විසින් නවසේනපුර ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී කේ.එම් මසුර්දීන් මහතාගේ පවුලේ ආබාධිත දියණියට රෝද පුටුවක්ද පරිත්‍යාග කරන ලදී.

24 පාබල සේනාංකයේ භටපිරිස් ‘විෂන් හෝප්’ පෙර පාසලේ ළමුන් 45 දෙනෙකු සඳහා ත්‍යාග පාර්සල් පරිත්‍යාග කර දිවා භෝජන සංග්‍රහයක් පිරිනමන ලද අතර, 241 සහ 242 පාබල බලසේනාවන් විසින් අක්කරෛයිපත්තුව, මනල්චේන, තුලාසි සහ සංගමන්කන්ද ප්‍රදේශයේ පාසල් ළමුන් 196 දෙනෙකු සඳහා පාසල් පොත් ප්‍රදානය කිරීමේ වැඩසටහන් සංවිධානය කරන ලදී.

විහාරාධිපති පූජ්‍ය වරකාපොල ඉන්ද්‍රසිරි හිමියන්ගේ මූලිකත්වයෙන් මුහුදු මහාවිහාර පුරාණ දහම් පාසලේ සිසු සිසුවියන් වෙත පාසල් පොත් ප්‍රදානය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි. 14 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් ලාහුගල මගුල් මහා විහාරයේ දහම් පාසල් ළමුන් 85 දෙනෙකු සහ ගුරුවරුන් 11 දෙනෙකු සඳහා භෝජන සංග්‍රහයක් ද පිරිනැමිණි.

ලෝක ළමා දිනය වෙනුවෙන් 18 විජයබාහු පාබල රෙජිමේන්තුව විසින් කල්මුණේ සිංහල මහා විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය සහ ළමුන් 40 දෙනෙකු සඳහා පාසල් පාවහන් සහ උපකරණ බෙදාදුන් අතර, 8, 11 සහ 16 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළු විසින් අන්නමලේ ශාන්ත ජෝශප් දේවස්ථාන පෙර පාසල, සියපත් පෙර පාසල, නීත්ත සහ මරනාත පෙර පාසල්හි ළමුන් 99 දෙනෙකු සඳහා ත්‍යාග ඇසුරුම්, ලිපිද්‍රව්‍ය සහ දිවා ආහාරය ලබා දෙන ලදී.

ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර උපදෙස් මත ලෝක ළමා දිනය වෙනුවෙන් 4 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය විසින් හිඟුරක්ගොඩ බෝසත් ළමා නිවාස පරිශ්‍රය පිරිසිදු කිරීමේ කටයුතු සිදුකරනු ලැබීය.

ලෝක ළමා දිනය වෙනුවෙන්, 3 ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය විසින් රොටවැව වීරමුතු පෙර පාසලේ ළමුන් 25 දෙනෙකු වෙත දිවා ආහාරය පිරිනමන ලද අතර, එහිදී 2 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය විසින් අතුරුපස සහ තේ පැන් සංග්‍රහයක්ද ලබා දෙන ලදී. 3 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය විසින් ගල්කන්ද පෙර පාසල් පරිශ්‍රය පිරිසිදු කරන ලද අතර, 3 ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ භටපිරිස් විසින් මහරත්මලේ, රත්මල් පෙර පාසල සහ මින්නේරිය ළමා සතුටු උද්‍යානය ප්‍රතිසංස්කරණය කරන ලදී.

5 ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය විසින් තිඹිරිගස්යාය කනිෂ්ඨ උසස් විද්‍යාලයේ ළමුන් 71 දෙනෙකු වෙත මුඛ සෞඛ්‍ය පිළිබඳ දේශනයක් සහ වෛද්‍ය සායනයක් පවත්වා දිවා භෝජන සංග්‍රහයක්ද පිරිනමන ලදී.

ලෝක ළමා දිනය වෙනුවෙන් පැවැත්වූ උත්සව මාලාවන්හිදී තේ පැන් සංග්‍රහ, විශේෂ දිවා භෝජන සංග්‍රහ, සංගීත විනෝදාස්වාද වැඩසටහන් සහ ත්‍යාග ප්‍රදානය කිරීම ඇතුළු විවිධ ක්‍රියාකාරකම් සිදුකරනු ලැබීය. එම වැඩසටහන්වල මූලික අරමුණු වූයේ ලෝක ළමා දිනය සමරමින් එම දරුවන් සතුටට පත් කිරීමයි.

22, 23, 24 පාබල සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන් වන මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පි යූඑස්පී එන්ඩීසී, මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න ආර්එස්පි යූඑස්පී පීඑස්සී, මේජර් ජෙනරල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී සහ ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.ඩබ්ලිව්.ටී.සී. මෙත්තානන්ද යූඑස්පී එන්ඩීසී ගේ උපදෙස් මත සියලුම බලසේනාධිපතිවරුන් සහ ඒකක අණදෙන නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ මෙම වැඩසටහන් සංවිධානය කරන ලදී.

උත්සව මාලාවන් සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.