26th March 2023 20:28:36 Hours
වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් අඩාල වී තිබූ අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් ලබාදුන් උපදෙස් මත යුද්ධ හමුදා භටපිරිස් පසුගිය බදාදා (මාර්තු මස 15) දින දිවයින පුරා පිහිටි රෝහල් සහ අනෙකුත් පොදු ස්ථානයන්හි සිදුකරනු ලබන සෞඛ්‍ය සේවා සඳහා යොදවන ලදී. ඒ අනුව, 61 වන පාබල සේනාංකය යටතේ ස්ථාපිත 612 වන පාබල බලසේනාවට අනුයුක්ත 1 වන ශ්‍රී ලංකා පුරෝගාමී බලකායේ භටපිරිස් 35 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක්, කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි හොරණ දිස්ත්‍රික් රෝහල සහ පානදුර මූලික රෝහලේ සෞඛ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සිය සහයෝගය ලබාදුන්හ.
14 වන පාබල සේනාංකය යටතේ ස්ථාපිත 144 වන පාබල බලසේනාවට අනුයුක්ත 2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් මුල්ලේරියාව ප්‍රදේශයේ පිහිටි නැගෙනහිර කොළඹ මූලික රෝහලේ සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා පුහුණු භටපිරිස් විසින් ඇඹිලිපිටිය මූලික රෝහලේ අත්‍යාවශ්‍ය රාජකාරීන් ආවරණය කිරීම සඳහා සිය සහයෝගය ලබාදුන්හ. මීට සමගාමීව, 112 වන පාබල බලසේනාවේ භටපිරිස් බදුල්ල දිස්ත්‍රික් රෝහලේත්, 2 වන (ස්වෙච්චා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් පේරාදෙණිය ශික්‍ෂණ රෝහලේ සහ මහනුවර ජාතික රෝහලේත් අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගැනීමට රෝහල් බලධාරීන්ට සිය සහයෝගය දැක්වූහ.
එමෙන්ම, 2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් නුවරඑළිය දිස්ත්‍රික් රෝහලේ අත්‍යවශ්‍ය සේවාවන් සඳහාත්, 18 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් මොණරාගල දිස්ත්‍රික් රෝහල් සේවා පවත්වාගෙන යාමටත් සිය දායකත්වය ලබාදුන්හ. මෙම අවශ්‍යතාවයන් සපුරාගැනීම සඳහා යුද්ධ හමුදාවේ භටපිරිස් විසින් ලබාදුන් දායකත්වය ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල, ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරාල් මොහාන් රත්නායක හා සේනාංකාධිපතිවරුන්ගේ මඟපෙන්වීම සහ ඒ යටතේ සේවයේ නියුතු බලසේනාධිපතිවරුන් සහ අණදෙන නිලධාරින් විසින් සම්බන්ධීකරණය කරන ලදී.