Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th April 2024 15:42:04 Hours

රණක්‍ෂිතයට පත් රණවිරුවන්ට අලුත් අවුරුදු සුබපැතුම් එක්කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් අභිමංසල 3 සුවතා නිකේතනයේ සංචාරයක

රණක්‍ෂිතයට පත්ව ප්‍රතිකාර ලබන වීරෝදාර රණවිරුවන්ට අලුත් අවුරුදු සුබපැතුම් එක්කිරීමේ අරමුණින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය බදාදා (2024 අප්‍රේල් මස 10) දින අභිමංසල - 3 සුවතා නිකේතනයේ සංචාරයක නිරතවිය.

සුවතා නිකේතනය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල මුරය පසුකරයාමේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවෙකු විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

එහිදී, යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රමුඛ සංචාරයේ නිරත පිරිස එම සුවතා නිකේතන පරිශ්‍රයේ පිහිටි ගොවිපළ, ජල ප්‍රතිකාර අංශය, ආයුර්වේද මධ්‍යස්ථානය, කෘතිම හා විකලාංග වැඩපළ, රෝහල සහ අනෙකුත් ස්ථානයන්හී නිරීක්‍ෂණ සංචාරයක නිරතවූහ.

මෙම අවස්ථාව සඳහා සපැමිණි යුද්ධ හමුදාධිපති ප්‍රමුඛ පිරිස පිළිගනිමින් එම සුවතා නිකේතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් පී.කේ.ජී.සී. පැස්කුවෙල් විසින් පිළිගැනීමේ කථාව සිදුකරන ලදී. අනතුරුව, මෙම සංචාරය සඳහා සහභාගී වූ සියලුදෙනා දිවා භෝජන සංග්‍රහයකට සහභාගි වූහ. පසුව, යුද්ධ හමුදාධිපතිතුමන් සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී එම සුවතා නිකේතනයේ නේවාසික රණවිරුවන් වෙත ත්‍යාග පාර්සල් බෙදාදෙනු ලැබීය.

මෙහිදී, භටපිරිස් ආමන්ත්‍රණය කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රතිකාර කටයුතුවල නිරතව සිටින වීරෝදාර රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙත නව බලාපොරොත්තු ඇතිවන සාමය, සතුට, සෞභාග්‍යය සහ සෞඛ්‍ය සම්පන්න නව වසරකට සුබපැතුම් එක්කළේය. එම වීරෝදාර රණවිරුවන් ජාතිය වෙනුවෙන් සිදුකළ අපරිමිත මෙහෙවර ඇගයීමට ලක්කරමින් ඔවුන් වෙත ඉක්මන් සුවය ද ප්‍රාර්ථනා කළේය.

මෙම සංචාරය සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරු කරගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් එම සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන් විසින් සිදුකරන ලද නිර්මාණ නැරඹීම සඳහා පිහිනුම් තටාක පරිශ්‍රය වෙත පිවිසෙන ලදී.

සුවතා නිකේතන පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම සමූහ ඡායාරූපයකට පෙනී සිටි යුද්ධ හමුදාධිපතිතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය. මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන අණසක මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරල් එම්.ඩබ්ලිව්.ටී.සී. මෙත්තානන්ද යූඑස්පී එන්ඩීසී, යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් එක්ව සිටියහ.