Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th October 2020 20:13:00 Hours

යුද්ධ හමුදාවේ ‘ඉදිරි උපාය මාර්ගික සැලැස්මේ’ පළමු කෙටුම්පත විශ්‍රාමික යුද්ධ හමුදාධිපතිවරුන් වෙතට

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙනස්වන බහුවිධ හා ගෝලීය තර්ජනයන් සහ නිරන්තරයෙන් සිදුවන වෙනස්වීම් හඳුනාගනිමින්, ඒවාට අනුවර්තනය වීමේ අවශ්‍යතාව මත ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත සකස් කල ‘2020-2025 ඉදිරි උපාය මාර්ගික සැලසුමේ’ පළමු කෙටුම්පත බ්‍රහස්පතින්දා (08) දින යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී හිටපු යුද්ධ හමුදාධිපතිවරුන් වෙත ඉදිරිපත් කරන ලදී.

මෙම අවස්ථාවට විශ්‍රාමික යුද්ධ හමුදාධිපතිවරුන් වන ජෙනරල් (විශ්‍රාමික) ශ්‍රීලාල් වීරසූරිය, ජෙනරල් (විශ්‍රාමික) ශාන්ත කෝට්ටේගොඩ, ජෙනරල් (විශ්‍රාමික) ජගත් ජයසූරිය සහ ජෙනරල් (විශ්‍රාමික) දයා රත්නායක සහභාගි වූහ.

ආරක්‍ෂක ප්‍රගමනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් යුද්ධ හමුදාවේ ව්‍යුහය, නිලධාරීන්ගේ ප්‍රගමනය, යුද්ධ හමුදා සංවිධානය සහ ස්වේච්ඡා බලසේනාව ආදිය තුළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 2020-2025 වර්ෂ සඳහා මෙම උපාය මාර්ගික සැලසුම් සකස් කර තිබේ.

වර්තමාන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙම සාකච්ඡාවේ මුලසුන දරමින්, මානුෂීය මෙහෙයුම්හී විවිධ තීරණාත්මක අවධීන්, ත්‍රස්තවාදයේ උච්චතම අවස්ථාවේ සහ ජාත්‍යන්තර බලපෑම් වලදී යුද්ධ හමුදාවට ඵලදායි ලෙස අණදුන් යුද ප්‍රවීණයන් ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සංවර්ධනය උදෙසා අනාගත උපායමාර්ග සාර්ථකව සම්පාදනය කිරීම සඳහා හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්ගේ දායකත්වයේ වැදගත්කම අවධාරණය කළේය.

එසේම, ගෝලීය වශයෙන් භාවිතා කරනු ලබන යුධ උපක්‍රම නිරන්තර වෙනස්වීම සහ ඒ අයුරින් හමුදා උපාය මාර්ග නවීකරණය කිරීමත් සමග මුලික සාරධර්ම හා අරමුණු තක්සේරු කිරීම හා සම්බන්ධ උපාය මාර්ග සැලසුම් කිරීමේ වැදගත්කම පිළිබඳ යුද්ධ හමුදාධිපතිතුමන් මෙහිදි ප්‍රකාශ කරන ලදී.

එම අවස්ථාවේදී, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ‘2020 – 2025 ඉදිරි උපාය මාර්ගික සැලසුම්’ හි පළමු කෙටුම්පත මෙම අවස්ථාවට සපැමිණි හිටපු යුද්ධ හමුදාධිපතිවරුන් වෙත ඉදිරිපත් කරන ලදී. විශ්‍රාමික යුද්ධ හමුදාධිපතිවරුන්ගේ පැමිණිම අගය කළ යුද්ධ හමුදාධිපතිතුමන් යුද්ධ හමුදාවේ අනාගතය උදෙසා විශ්‍රාමික යුද්ධ හමුදාධිපතිවරුන්ගේ අඛණ්ඩ මඟපෙන්වීම අවශ්‍ය බව මෙහිදී පැවසීය.

මෙම සාකච්ඡාවට යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ජගත් ගුණවර්ධන, පුහුණු අධ්‍යක්‍ෂ ජෙනරල් මේජර් ජෙනරල් නිශාන්ත හේරත්, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටම්පිටිය ඇතුළු යුද්ධ හමුදා මුලස්ථායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සහ ශ්‍රී ලංකාවේ කීර්තිමත් උපායමාර්ග විශේෂඥයෙකු හා ප්‍රධාන විධායක නිලධාරීයෙකු මෙන්ම විධායක පුහුණුකරුවෙකු වන ආචාර්ය උදය ඉන්ද්‍රරත්න මහතා සහභාගී වුහ. Best Authentic Sneakers | Nike Off-White