Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th April 2023 20:00:49 Hours

යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණයෙන් මුලතිව් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 200 ක් සඳහා වියළි ආහාර සලාක පාර්සල් පරිත්‍යාගයක්

උදාවන්නා වූ සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 59 වන පාබල සේනාංකයේ 593 වන පාබල බලසේනාවේ භටපිරිස් විසින් මුලතිව් ප්‍රදේශයේ ජීවත් වන අඩු ආදායම් ලාභී පවුල් 200ක් වෙත වියළි ආහාර සලාක පාර්සල් තොගයක් බෙදාදීමේ සමාජ සත්කාරක වැඩසටහනක් පසුගිය බ්‍රහස්පතින්දා (06) දින කොහොඹගස් හන්දිය 19 වන ගැමුණු හේවා බලඇණි කඳවුරු පරිශ්‍රයේදී පවත්වනු ලැබීය

පූජ්‍ය නාගලගමුවේ සුමන හිමියන්ගේ සම්බන්ධීකරණයෙන් විදෙස් රටවල පදිංචි පරිත්‍යාගශීලීන්ගේ මුල්‍යමය අනුග්‍රාහකත්වය මත මෙම පරිත්‍යග වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි. 59 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මහින්ද රණසිංහ සහ 593 වන පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් චින්තක විජේනායක ගේ උපදෙස් මත 5 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 19 වන ගැමුණු හේවා බලකායේ අණදෙන නිළධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයන්හි භටපිරිස් විසින් මෙම වැඩසටහන සංවිධානය කර පවත්වනු ලැබූහ.

උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් දර්ශන විජේසේකර සහභාගී විය. එහිදී සෑම ප්‍රතිලාභියෙකුටම පරිප්පු, සහල්, අල, ළූණු, මිරිස් කුඩු ආදී අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ඇතුලත් රුපියල් 5000.00 ක වටිනාකමකින් යුත් වියළි ආහාර සලාක පාර්සල් බෙදාදෙනු ලැබිණි.

මෙම අවස්ථාව සඳහා කෝකිලායි ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය තිස්පුර ශ්‍රී ගුණරතන හිමි, පරිත්‍යාගශීලීන් නියෝජනය කරමින් සුනිල් විජේවර්ධන, මහින්ද සුබසිංහ, චම්මි සුමේධ යන මහත්වරුන් සහ 59 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ආරාධිතයන් හා ප්‍රතිලාභීන් රැසක් සහභාගි වූහ.