04th August 2023 01:00:36 Hours
උතුරු සහ නැඟෙනහිර ප්‍රදේශවල නිවාස නොමැති පවුල් සඳහා යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණයෙන් දැනට ක්‍රියාත්මක කරනු ලබන නිවාස ඉදිකිරීමේ ප්‍රජා සත්කාරක ව්‍යාපෘති යටතේ ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 පාබල සේනාංකයේ 682 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 3(ස්වෙඡ්චා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පදිංචි දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුලක් වෙත ඉදිකරදුන් නව නිවස පසුගිය සඳුදා (ජූලි මස 31) දින එම නිවාස ලාභීන් වෙත පවරා දෙන ලදී.
මන්ඩුවිල්හි පදිංචි කේ ශාන්ත සහ එම් සුමන්, ආනන්දපුරම්හි පදිංචි එස් පුනිදවලන් සහ වාලෙයිමඩම් හි පදිංචි එම්.බී ඇන්ටන් යන මහත්වරුන් විසින් ලබාදුන් රුපියල් මිලියන 02 ක මූල්‍යමය අනුග්‍රාහකත්වයෙන් යුද්ධ හමුදා භටපිරිස්හි තාක්‍ෂණික දැනුම සහ ශ්‍රම දායකත්වය මත නව නිවස ඉදිකර දෙන ලදී.
නිසි ආදායම් මාර්ගයක් නොමැතිව තම පවුලේ සාමාජිකයන් සමඟින් සිය ඉඩමේ ටකරන් සෙවිලිකරන ලද නිවසක ජීවත්වන ත්‍යාගරාජා මහතා මාස 3ක බිළිඳකුගේ පියෙකු වන අතර, ඔවුන්ට නව නිවසක් ලබාදීම සඳහා යුද්ධ හමුදාවේ සහය ලබා ගැනීමේ අරමුණින් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී මහතා ඔහුගේ ජීවන තත්ත්වය පිළිබඳව 68 පාබල සේනාංකයේ භටපිරිස් වෙත දැනුවත් කරනු ලැබීය.
ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සහ 68 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් මත 682 පාබල බලසේනාවේ බලසේනාධිපති සහ 3(ස්වෙච්ඡා) විජයභාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීගේ අධීක්‍ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය සිදු කරන ලදී.
නව නිවස ලබා දීමේ උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් නව නිවසේ යතුර සංකේතාත්මකව ප්‍රතිලාභීන් වෙත භාර දෙන ලදී. එහිදී ඔවුන් වෙත අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ ගෘහ භාන්ඩ කීපයක්ද ප්‍රදානය කරනු ලැබීය. උත්සව අවස්ථාව සඳහා 682 පාබල බලසේනාවේ බලසේනාධිපති, 3(ස්වෙඡ්චා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින්, අනුග්‍රාහක භවතුන්, ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් සහ සිවිල් වැසියන් පිරිසක් ද සහභාගී වූහ.