Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th March 2023 19:40:20 Hours

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් මාතර ප්‍රදේශයේ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක්

613 වන පාබල බලසේනාවේ භටපිරිස් 3 වන (ස්වෙච්ඡා) සහ 14 වන (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ භටපිරිස් සමඟ එක්ව මාතර දෙලිකන්ද වෙරළ තීරය සහ නිල්වලා ගං මෝය ආශ්‍රිතව වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගිය සඳුදා (මාර්තු මස 27) දින ක්‍රියාත්මක කරනු ලැබීය.

දීර්ඝ කාලයක් පුරාවට පොලිතීන්, හිස් ප්ලාස්ටීක් බෝතල් වැනි අපද්‍රව්‍ය වලින් වෙරළ තීරය දැඩි ලෙස දූෂණය වී තිබීම හේතුවෙන් යුද්ධ හමුදා භටපිරිස් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

රාජ්‍ය ආයතන රැසක සිවිල් වැසියන්, පාසල් සිසු සිසුවියන් සහ ප්‍රදේශවාසීන් 100 දෙනෙකු පමණ මෙම වැඩසටහනේ සාර්ථකත්වය වෙනුවෙන් භටපිරිස් සමඟ අත්වැල් බැඳගනිමින් වෙරළ තීරය පිරිසිදු කිරීමට කටයුතු කරනු ලැබීය.

කැලි කසළ එකතු කිරීමෙන් පසුව, භටපිරිස් විසින් එම අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමේ අරමුණින් දිරන සහ දිරාපත් නොවන ලෙස වෙන්කරනු ලැබිණි.

වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන සමාප්තියේ නෙස්ලේ ලංකා පුද්ගලික සමාගම වෙතින් වැඩසටහන සඳහා දායකත්වය දැක්වූවන් වෙනුවෙන් ප්‍රණීත දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීය.

61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උදය හේරත් සමඟින් මෙම අවස්ථාවට සහභාගී වූ 613 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඉන්දික ජයවීර සහ 3 වන (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී මේජර් පී.ඒ.ජී.ඒ.පී. මඩිත්තපොල ව්‍යාපෘතියේ සාර්ථකත්වය වෙනුවෙන් අවශ්‍ය මඟපෙන්වීම් ලබාදුන්හ.

වැඩසටහනේ සාර්ථකත්වය වෙනුවෙන් අවශ්‍ය මාර්ගෝපදේශයන් ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල ලබාදුන්නේය.