19th May 2023 19:49:02 Hours
55 වන පාබල සේනාංකය වෙතින් මාස හයක කාල සීමාවක් පුරාවට යුද්ධ හමුදා පුහුණු සැසි පවත්වමින් වෙරළ වොලිබෝල් ක්‍රීඩාව පිළිබඳ හඳුන්වාදීමෙන් අනතුරුව යාපනය අර්ධද්වීපයේ වඩමාරච්චි (නැගෙනහිර) කලාපයේ තලයඩි වෙරළ තීරයේදී මැයි මස 14 දින ප්‍රථම වරට වෙරළ වොලිබෝල් තරඟාවලියක් පැවැත්වීය. යුද්ධ හමුදා වෙරළ වොලිබෝල් පුහුණුකරුවන් විසින් පාසල් සහ ක්‍රීඩා සමාජ වෙත හඳුන්වාදුන් වෙරළ වොලිබෝල් ක්‍රීඩාව අංශ හතරකින් යුත් පුහුණු සැසිවලින් සමන්විත විය. ජාතික මට්ටමේ ක්‍රීඩා සමාජ තරඟවලට සහභාගී කරවීම සඳහා යාපනය අර්ධද්වීපයේ දක්‍ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගැනීමේ අරමුණින් අන්තර් පාසල් වෙරළ වොලිබෝල් තරඟාවලියක් ද පැවැත්විණි.
කණ්ඩායම් 22 ක සහභාගීත්වයෙන් පැවති මෙම තරඟාවලිය සමාප්තියේ අවසන් මහා තරඟය සඳහා අම්පන් සහ අලියාවලෙයි ප්‍රදේශ නියෝජනය කරන වෙරළ වොලිබෝල් කණ්ඩායම් දෙකක් සුදුසුකම් ලැබීය. තියුණු තරඟයකින් අනතුරුව තරඟාවලියේ ජයග්‍රහණය අම්පන් ප්‍රදේශයේ පිංපොං ක්‍රීඩා සමාජය වෙතින් දිනාගනු ලැබීය. ප්‍රේක්‍ෂකයන් වෙනුවෙන් උද්වේගකර තරඟයක් පෙන්වීමේ අරමුණින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිරිමි සහ කාන්තා වෙරළ වොලිබෝල් කණ්ඩායම් අතර ප්‍රදර්ශන තරඟ දෙකක් ද පැවැත්විණි. අවසන් මහා තරඟයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ඩී.බී.එස්.එන්. බෝතොට ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී සහභාගී වූ අතර ක්‍රීඩා ලෝලීන්, සිවිල් වැසියන්, 51, 52, 55 සහ 56 පාබල සේනාංකවල සේනාංකාධිපතිවරුන්, උතුරු නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, යාපනය අර්ධද්වීපයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - යාපනය, කිලිනොච්චි ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, මරුතන්කේනි ප්‍රාදේශීය ලේකම්, උතුරු පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ සහ තවත් සම්භාවනීය අමුත්තන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ. මෙම තරඟාවලියේ සාර්ථකත්වය වෙනුවෙන් දායක වූ පරිත්‍යාගශීලීන්ගේ සුබපැතුම් ද එක්කෙරිණි.