Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th March 2023 18:43:38 Hours

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් පාසල් ශිෂ්‍ය නායකයින් වෙනුවෙන් නායකත්ව වැඩමුළුවක්

වැලිකඩ හේවාවිතාරණ මහා විද්‍යාලයේ පාසල් බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව 14 වන පාබල සේනාංකය යටතේ ස්ථාපිත 144 වන පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ සාමාජිකයින් විසින් පසුගිය බදාදා (මාර්තු මස 08) දින එම විද්‍යාලයේ කනිෂ්ඨ ශිෂ්‍ය නායකයින් 25 දෙනෙකු වෙනුවෙන් ‘නායකත්වය’ පිළිබඳ පුහුණු වැඩමුළුවක් පවත්වන ලදී. එම පාසලේ ශිෂ්‍ය නායකයින්ගේ නායකත්ව ගුණාංග වර්ධනය කිරීම, අභියෝගවලට මුහුණ දීම, විනයගරුකව සිය දක්‍ෂතා සහ කුසලතා වර්ධනය කරවීම අරමුණු කරගනිමින් මෙම නායකත්ව ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය. ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල ගේ මඟපෙන්වීම සහ 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් රොෂාන් ජයමාන්න සහ 144 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වින්දන කොඩිතුවක්කු අධීක්‍ෂණය මත වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.

ඒ අනුව, 2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිලධාරීන් සහ කොමිෂන් නොලත් නිලධාරීන් විසින් මෙහෙයවනු ලැබූ මෙම වැඩමුළුව ශාරීරික ව්‍යායාම, දේශන, සාකච්ඡා, විනෝදජනක වැඩසටහන් සහ කණ්ඩායම් ක්‍රියාකාරකම් වලින් සමන්විත විය. මෙම වැඩසටහන සාර්ථකව සිදුකිරීම සඳහා අවශ්‍ය උපදෙස් 2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරීතුමන් විසින් ලබාදුන් අතර එතුමන් විසින් වැඩසටහන සමීපව නිරීක්‍ෂණය කරන ලදී. වැඩසටහන සමාප්තියේ සහභාගී වූවන් වෙනුවෙන් සහතිකපත්‍ර පිරිනැමීමක් ද සිදුකෙරිණි.