Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st February 2024 22:08:40 Hours

යුද්ධ හමුදාවේ මාධ්‍ය ක්‍ෂේත්‍රයේ නියැලෙන භටපිරිස් සඳහා දර්පණ රහිත සහ වීඩීයෝ - කැමරා තාක්‍ෂණය පිළිබඳ වැඩමුළුවක්

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත ජනමාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් ‘Mirror Less Camera and Video Camera Technology’ පිළිබඳ වැඩමුළුවක් බදාදා (පෙබරවාරි මස 21) දින පනාගොඩ, ශ්‍රී ලංකා සංඥා බලකායේදී පවත්වන ලදී.

‘Metropolitan Technologies (Pvt) Ltd’ ආයතනය විසින් පවත්වනු ලැබූ මෙම වැඩසටහන සඳහා යුද්ධ හමුදාවේ විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් මාධ්‍ය ක්‍ෂේත්‍රයේ නියැලෙන භටපිරිස් 35 දෙනෙකු සහභාගී වූ අතර, එහිදී ඔවුන් හට දර්පණ රහිත කැමරා සහ වීඩියෝ කැමරා භාවිතා කිරීම පිළිබඳ නවීන තාක්‍ෂණික සහ ප්‍රායෝගික දැනුම වැඩිදියුණු කරගැනීමට හැකි විය. එහිදී භටපිරිස් ප්‍රායෝගිකව මෙම ක්‍ෂේත්‍රයේ නියැලෙන අවස්ථාවන්හිදී මුහුණ පෑමට සිදුවන අභියෝගයන් සහ ඒවා නිරාකරණය කිරීම පිළිබඳව ද දැනුවත් වනු ලැබීය.

මෙම අවස්ථාවට සහභාගී වූ අධ්‍යක්‍ෂ ජෙනරාල් ජනමාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් මේජර් ජෙනරල් කේ.ඒ.එන් රසික කුමාර එන්ඩීසී පීඑස්සී සහ ‘Metropolitan Technologies (Pvt) Ltd’ ආයතනයේ අධ්‍යක්‍ෂ තස්ලිම් රහමන් මහතා විසින් වැඩමුළුව සාර්ථකව පැවැත්වීම පිළිබඳව ඇගයීමට ලක්කරමින් සහභාගී වූ සියලුම දෙනා වෙත සහතික පත් ප්‍රදානය කරන ලදී.

Metropolitan Technologies (Pvt) Ltd ආයතනයේ ප්‍රවීන් සමරකෝන්, ප්‍රසංග රත්නායක, රොෂාන් ප්‍රනාන්දු යන මහත්වරුන් විසින් දේශන සහ ප්‍රායෝගික සැසි පවත්වන ලදී.

වැඩමුළුව සඳහා ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එස්.ජේ.කේ.ඩී ජයවර්ධන යූඑස්පී පීඑස්සී, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, Metropolitan Technologies (Pvt) Ltd ආයතනයේ නියෝජිතයින්, සාමාන්‍යාධිකාරී සුරේෂ් හේරත්, අලෙවි අංශයේ උප සභාපති ප්‍රවීන් සමරකෝන් යන මහත්වරුන්, සහකාර කළමනාකාර - ඇනවුම් අංශය නදීකා ද ෆොන්සේකා මෙනවිය, ප්‍රසංග රත්නායක මහතා සහ කාර්යය මණ්ඩල සාමාජිකයින් සහභාගී වූහ.