Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th May 2023 22:22:27 Hours

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ නව බළලත් නිලධාරී සහ සැරයන් නිවස්නය විවෘත කෙරේ

කොළඹ 15, මෝදර ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ බළලත් නිලධාරී සහ සැරයන් නිවස්නය විවෘත කිරීමේ උත්සවය අද (25) දින උදෑසන පැවති අතර එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.බී.එස්.එන්. බෝතොට ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී ගේ ආරාධනයකට අනුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය.

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස්හි සහයෝගය මත 1 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මෙම දෙමහල් බළලත් නිලධාරී සහ සැරයන් නිවස්නයේ ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලැබූ අතර එය භෝජනාගාරයක්, රූපවාහිනි නැරඹුම් කාමරයක්, මුළුතැන්ගෙයක්, අමුත්තන්ගේ කාමරයක් සහ නේවාසික පහසුකම් වලින් සමන්විත වේ.

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණී යුද්ධ හමුදාධිපතිතුමන් එම රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.බී.එස්.එන්. බෝතොට ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී සහ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් පී.එන්. විජේසිරිවර්ධන ආර්එස්පී යූඑස්පී විසින් පිළිගැනීමෙන් අනතුරුව එම රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය ද එතුමන් වෙත පුදකළහ.

යුද්ධ හමුදාධිපතිතුමන් අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ එක්ව අභිනවයෙන් ඉදිකරනු ලැබූ බළලත් නිලධාරී සහ සැරයන් නිවස්නය වෙත පැමිණ එම නිවස්නයේ සමාරම්භක අවස්ථාව සනිටුහන් කරමින් ‘සෙත් පිරිත්’ සජ්ඣායනා මධ්‍යයේ විශේෂ සමරු ඵලකය නිරාවරණය කර පීත්ත පටිය කපනු ලැබීය. අනතුරුව, එතුමන් අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ එක්ව එම නිවස්නය නිරීක්‍ෂණ කළ අතර, බළලත් නිලධාරී සහ සැරයන් නිවස්නයේ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස්හි කැපවීම පැසසුමට ලක්කළේය.

සියලු නිල තේ පැන් සංග්‍රහය සඳහා සහභාගී වූ යුද්ධ හමුදාධිපතිතුමන් එම රෙජිමේන්තුවේ නිලධාරින් සහ සෙසුනිලයන් සමඟ සුහඳ අදහස් හුවමාරුවක නිරත වූ අතර අතීත මතකයන් පිළිබඳව ද එහිදී සිහිපත් කෙරිණි.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමූහ ඡායාරූපයන් සඳහා සහභාගී වූ යුද්ධ හමුදාධිපතිතුමන් නව ගොඩනැගිලි සංකීර්ණය අභියස පැළයක් රෝපණය කළේය. පසුව, විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් තැබූ යුද්ධ හමුදාධිපතිතුමන් භටපිරිස් ඇමතීම ද සිදුකරනු ලැබීය.

යුද්ධ හමුදාධිපතිතුමන් සිදුකළ දේශනයේදී, එම රෙජිමේන්තුවේ කීර්තිමත් නිලධාරියෙකු වූ ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ අතීත මතකයන් යලි ආවර්ජනය කළ අතර, සියලු නිලයන්ගේ විනය ඉහළ මට්ටමින් පවත්වාගැනීම පිළිබඳව එහිදී වැඩිදුරටත් අවධාරණය කෙරිණි. සිය දේශනය සමාප්තියේ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ඇගයීමේ සංකේතයක් වශයෙන් විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.

රෙජිමේන්තු පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම යුද්ධ හමුදාධිපතිතුමන් ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායකතුමන් වෙත ක්‍රියාන්විත රාජකාරීන්හිදී භාවිතා කිරීම සඳහා ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය වෙතින් නිෂ්පාදනය කළ බිම්බෝම්බ ප්‍රතිරෝදක ආරක්‍ෂිත රථයක් ද ප්‍රදානය කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් සී.ඩී. වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ඩී.ජී.එස්. සෙනරත් යාපා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක සහ යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන ආඥාපති මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී. සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී, යුද සේවා ලේකම් මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම් ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී, 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී, විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ජේ.ඒ.ආර්.එස්.කේ. ජයසේකර යූඑස්පී පීඑස්සී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.