Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th November 2022 20:10:22 Hours

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මූලිකත්වයෙන් වියලි ආහාර සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක්

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් ලබාදුන් උපදෙස් මත යුද්ධ හමුදා භටපිරිස්, සිවිල් කාර්ය මණ්ඩලය සහ ප්‍රදේශයේ සිවිල් ජනතාවගේ ආර්ථික දුෂ්කරතා අවම කරගැනීමට යම් කිසි සහනයක් සැලසීමේ අරමුණින් ඔවුන් වෙත වියළි ආහාර සලාක පාර්සල් බෙදා දීමේ වැඩසටහනක් පනාගොඩ යුද්ධ හමුදා ජනපද පරිශ්‍රයේදී සහ ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී පසුගිය සෙනසුරාදා (12) පවත්වන ලදී.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය සමගින් එක්ව පනාගොඩ ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී හෝමාගම ප්‍රදේශය අවට පදිංචි තෝරාගන්නා ලද දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවි ගෙවන පවුල් වෙනුවෙන් සහල්, පරිප්පු, අල, ළූණු, පිටි ආදී අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ඇතුලත් වියලි ආහාර සලාක ඇසුරුම් 250 ක ප්‍රමාණයක් බෙදාදීමේ ප්‍රජාසත්කාරක වැඩසටහනක් සංවිධානය කරන ලදී. යුද්ධ හමුදාව විසින් සිවිල් වැසියන් වෙනුවෙන් සිදුකරනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන් අගයමින් නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ උපකුලපති පූජ්‍ය බෝදාගම චන්දිම නායක හිමිපාණන් විසින් එම වියලි ආහාර සලාක තොගය සඳහා අනුග්‍රහය දක්වනු ලැබීය.

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ අධීක්‍ෂණය යටතේ ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර භටපිරිස් විසින් හමුදාපති ලේකම් කාර්යාලය සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය සමගින් එක්ව මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන සිදුකරන ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රධානත්වයෙන් පැවති සිවිල් ජනතාව වෙනුවෙන් වියලි ආහාර සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනෙන් අනතුරුව, පනාගොඩ යුද්ධ හමුදා ජනපදයෙහි ස්ථාපිත ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී එම ජනපදයෙහි රාජකාරියෙහි නියුතු භටපිරිස් සහ සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයන් 200 වෙතද වියළි ආහාර සලාක පාර්සල් බෙදා දෙන ලදී. යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි ජානකී ලියනගේ මැතිණියගේ මාර්ගෝපදේශයන්ට අනුව යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් ඊට අනුග්‍රාහකත්වය දක්වනු ලැබූහ.

මෙම උත්සව අවස්ථාව සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි ජානකී ලියනගේ මැතිණිය, ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී සහ බ්‍රිගේඩියර් පාලන සහ භටකාර්ය සම්පාදන බ්‍රිගේඩියර් ඩී.ඒ. අමරසේකර යූඑස්පී, ‍යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.