Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th May 2023 11:03:07 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය රාගම රණවිරු සෙවණ සුවතා නිකේතනයේ සංචාරයක

රණක්‍ෂිතයට පත්ව රාගම රණවිරු සෙවණ සුවතා නිකේතනයේ ප්‍රතිකාර ලබන සහ පුනරුත්ථාපන කටයුතුවල නිරත වීරෝදාර රණවිරුවන්ගේ සුවදුක් විමසාබැලීම සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකි ලියනගේ මහත්මිය ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් පසුගිය අඟහරුවාදා (මැයි මස 23) දින එම සුවතා නිකේතනයේ සංචාරයක නිරත වූහ.

මෙම සංචාරයේදී, ජානකි ලියනගේ මහත්මිය එම නේවාසික රණවිරුවන් සමඟ සුහඳ පිළිසඳරක නිරත වෙමින් ඔවුන්ගේ සුවදුක් විමසා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් පිළිබඳව මෙන්ම ඔවුන් සතු අවශ්‍යතාවයන් පිළිබඳව ද විමසා බැලුවාය.

එම පරිශ්‍රය තුළ පිහිටි සෘජුකාරක සහ අංගාදේශක විකලාංග කාර්මිකාගාරයේ සංචාරයේ නිරත වූ එතුමිය එම ඒකකයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සමඟින් අදහස් හුවමාරුවක නිරතවූවාය.

සුවතා නිකේතන පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම එතුමිය නේවාසික රණවිරුවන් වෙත ත්‍යාග පාර්සල් පරිත්‍යාග කිරීමෙන් අනතුරුව එම සුවතා නිකේතනයේ විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබුවාය.

මෙම අවස්ථාවට පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් එස්.සී. ඒකනායක ආර්එස්පී, රණවිරු සෙවණ සුවතා නිකේතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් බී.එන්. මදනායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ නිලධාරි බ්‍රිගේඩියර් එන්. මහවිතාන කේඑස්පී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් කිහිපදෙනෙකු ද සහභාගී වූහ.