10th April 2025 16:12:50 Hours
සිංහල හා හින්දු අලුත් අවුරුදු සැමරුම වෙනුවෙන් යුද්ධ හමුදා මූලස්ථානය වෙතින් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2025 අප්‍රේල් මස 09 දින සාම්ප්‍රදායික අලුත් අවුරුදු උත්සවයක් පැවැත්වීය.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සමඟින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මිය සහභාගි වූහ.
උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින්, සාම්ප්‍රදායික ග්‍රාමීය පරිසරයක් පිළිබිඹු කරමින් විශේෂයෙන් නිර්මානය කරන ලද ගැමි ගෙදර පරිශ්‍රයේදී යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රමුඛ අනෙකුත් සම්භාවනීය අමුත්තන් විසින් සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්විය. පසුව, ඔවුන් ගැමිගෙදර පරිශ්‍රයේ සංචාරයක නිරත වෙමින් සාම්ප්‍රදායික ග්‍රාමීය චාරිත්‍ර සියැසින් දැකබලාගත්හ.
විවිධ සාම්ප්‍රදායික ජන හා විනෝදජනක ක්‍රීඩාවන්ගෙන් සමන්විතව පැවති මෙම අලුත් අවුරුදු සැමරුම් උත්සවය තවත් වර්ණවත් කරමින් සාම්ප්‍රදායික අංගම්පොර සටන් සංදර්ශනයක් ද පැවැත්විණි.
අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රමුඛ විශේෂ ආරාධිතයින් විසින් ජයග්‍රාහකයින් වෙත ත්‍යාග සහ කුසලාන ප්‍රදානය කළ අතර, මෙම උත්සව අවස්ථාව සඳහා සහභාගි වූ විරුකැකුළු පෙර පාසලේ දරු දැරියන් සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන් වෙත ද යුද්ධ හමුදාධිපතිතුමන් විසින් විශේෂ ත්‍යාග පාර්සල් ප්‍රදානය කරන ලදී.
අලුත් අවුරුදු සැමරුම් උත්සවය සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන, ප්‍රධාන මාණ්ඩලික නිලධාරින් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් රැසක් සහභාගි වූහ.