Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th May 2023 18:44:04 Hours

යුද්ධ හමුදා භටපිරිස් වෙට්ටිලයිකර්නි මාර්ගය ප්‍රතිසංස්කරණය කරයි

553 පාබල බලසේනාව, 12 (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 10 ක්‍ෂේත්‍ර ඉංජිනේරු බලකායේ භටපිරිස් එක්ව වෙට්ටිලයිකර්නි සිට මුල්ලියාන් දක්වා වූ අබලන් තත්ත්වයේ පැවති මාර්ගය පිළිසර කිරීම සඳහා සිය ශ්‍රම දායකත්වය දැක්වූහ.

සිවිල් වැසියන් සහ භටපිරිස් සිය පරිපාලන කටයුතු සඳහා භාවිතා කරනු ලබන මෙම මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු 553 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජී.එස්.කේ. පෙරේරා ආර්එස්පී ගේ මූලිකත්වයෙන් ආරම්භ කෙරිණි. වාහන ගමනාගමනයට දැඩිව බාධා පැවති මෙම මාර්ගයේ වසර ගණනාවකින් කිසිදු ප්‍රතිසංස්කරණ කටයුත්තක් සිදුකර නොතිබුණි.

යුද්ධ හමුදා භටපිරිස් ක්‍රියාත්මක වී දින කිහිපයක් ඇතුළත එම මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර නැවත යථා තත්ත්වයට පත්කළහ. වඩමාරච්චි - නැඟෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි පුරාණ මුල්ලියන් කෝවිල හරහා වෙට්ටිලයිකර්නි සිට අයියකච්චි ‘ඒ’ 9 මාර්ගය දක්වා ඇති මෙම මාර්ගය හින්දු බැතිමතුන් වැඩි වශයෙන් භාවිතා කරයි.

2023 අප්‍රේල් මස 30 දින පැවති මෙම මාර්ගය විවෘත කිරීමේ අවස්ථාව සඳහා 553 පාබල බලසේනාව, 12 (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 10 ක්ෂේත්‍ර ඉංජිනේරු බලකායේ භටපිරිස්, හින්දු පූජකවරුන් සහ සිවිල් වැසියන් කිහිපදෙනෙකු සහභාගී වූහ. එහිදී, සිවිල් වැසියන් සහ භටපිරිස් එක්ව තවත් ප්‍රජා ව්‍යාපෘතියක් දියත් කරමින් එම මාර්ගය දෙපස පිරිසිදු කළහ.