26th May 2023 11:05:08 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා හැකියාවන් ඉහල නැංවීමේ අරමුණින් ක්‍රීඩා අධ්‍යක්‍ෂක මණ්ඩලය විසින් ආරම්භ කරන ලද ‘ක්‍රීඩා මනෝවිද්‍යාව’ පිළිබඳ දේශන මාලාවේ තවත් එක් වැඩසටහනක් පසුගිය සිකුරාදා (19) දින යුද්ධ හමුදා පොදු සේවා බලකා රෙජිමේන්තු මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්වූහ.
යුද්ධ හමුදාවේ ක්‍රීඩා සංචිතයන්හි සිටින යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඉහල නංවා ඔවුන්ගේ චිත්ත ධෛර්යය සහ මානසික සූදානම ඉහළ නැංවීම සඳහා මෙම දේශන මාලාව සැලසුම් කර ඇත.
යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් පී.ඒ.එම් පීරිස් ගේ උපදෙස් මත ක්‍රීඩා අධ්‍යක්‍ෂක මණ්ඩලය විසින් යුද්ධ හමුදා ක්‍රීඩා කමිටුවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා මෙම දේශන මාලාව සංවිධානය කරන ලදී.
පිහිනුම්, බොක්සිං, ටයිකොන්ඩෝ, කරාතේ, කඹ ඇදීම සහ මලල ක්‍රීඩා ඇතුළු ක්‍රීඩා ඉසව් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම දේශන මාලාව සඳහා සහභාගී වූ අතර, ක්‍රීඩා භෞතචිකිත්සක මේජර් ඩබ්ලිව්.ඒ.කේ.පී.එස් බණ්ඩාර සහ යුද්ධ හමුදා ක්‍රීඩා සංවර්ධන ගම්මානයේ ක්‍රීඩා වෛද්‍ය අංශයේ ක්‍රීඩා මනෝ වෛද්‍ය කපිතන් ඕ.ඩී.එස්.කේ රූපශ්‍රී විසින් ‘ක්‍රීඩාවේදී භෞකිත හැකියාවන් මෙන්ම මානසික හැකියාවන් වර්ධනය කරගැනීමේ වැදගත්කම’ සහ ‘ක්‍රීඩාව තුලදී ආබාධ වලින් වැලකී සිටිමේ වැදගත්කම’ යන මාතෘකා යටතේ දේශනයන් පවත්වනු ලැබූහ.
දේශනයන් සඳහා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 130 දෙනෙකු සහ ක්‍රීඩා කමිටු නියෝජිත නිලධාරීන් ද සහභාගී වූහ.