Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද්ධ හමුදා ක්‍රීඩකයින්ගෙන් සමන්විත ජාතික පා පන්දු කණ්ඩායම කොරියාව බලා පිටත් වෙති

ශ්‍රී ලංකා ජාතික පා පන්දු කණ්ඩායම පසුගිය සඳුදා (31) දින FIFA ලෝක කුසලාන මූලික වටයේ සුදුසුකම් ලබාගැනීමේ තරඟ සඳහා දකුණු කොරියාව බලා පිටත්විය. මෙහිදී ශ්‍රී ලංකාව ‘H කොටස’ යටතේ සුදුසුකම් ලැබීමේ වට 02 කට මුහුණදීමට නියමිතය.

ශ්‍රී ලංකා පා පන්දු කණ්ඩායම සහ ලෙබනන් පා පන්දු කණ්ඩායම අතර මෙහි පළමු තරඟය ජූනි මස 05 දින හෝරා 1130 ට සහ ජූනි මස 09 දින කොරියානු පා පන්දු කණ්ඩායම සමඟ දෙවන තරඟය හෝරා 1630 ටත් පැවැත්වීමට නියමිතව ඇත. මෙම තරඟ ඉසව් දෙකම එරට ගොයන්ග් (Goyang) නගරයේ ගොයන්ග් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව ඇත. ශ්‍රී ලංකා පා පන්දු කණ්ඩායම, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පා පන්දු ක්‍රීඩකයින් සිව්දෙනෙකුගෙන් සමන්විත වේ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පා පන්දු කණ්ඩායම නියෝජනය කරමින් ගජබා රෙජිමේන්තුවේ කෝප්‍රල් ආර්.ඒ.සී. මදුෂාන්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ ලාන්ස් කෝප්‍රල් ඒ.ඒ.එස්.ආර්. අප්පුහාමි, ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ ලාන්ස් කෝප්‍රල් එම්.ඒ.ඒ. රහුමාන් සහ ගජබා රෙජිමේන්තුවේ සාමාන්‍ය සෙබල එම්.ජේ.ආර්. මොහොමඩ් මෙම තරඟාවලිය සඳහා තරඟවැදීමට නියමිතව ඇත.

කෝප්‍රල් ආර්.සී. මදුෂාන් 2016 වසරේදී ජාතික කණ්ඩායම වෙනුවෙන් තරඟවැදී සුපර්ලීග් තරඟකරුවෙකු ලෙස ශ්‍රී ලංකා පා පන්දු කණ්ඩායමට සහ යුද්ධ හමුදා පා පන්දු කණ්ඩායමට කීර්තියක් අත්කර දුන්නේය. එසේම ලාන්ස් කෝප්‍රල් අප්පුහාමි විසින් 2012 වර්ෂයේ සිට Defenders FC කණ්ඩායම නියෝජනය කළ අතර ඔහු 2015 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා ජාතික පා පන්දු කණ්ඩායම නියෝජනය කිරීම සඳහා සහභාගි වූයේය.

ලාන්ස් කෝප්‍රල් රහුමාන් 2014 වර්ෂයේ සිටම ඉතා විශිෂ්ඨ ක්‍රීඩකයෙකු ලෙස ජාතික පා පන්දු කණ්ඩායමටත්, යුද්ධ හමුදා පා පන්දු කණ්ඩායමටත් සිය දායකත්වය ලබාදුන් ක්‍රීඩකයෙකි.

සාමාන්‍ය සෙබල මොහොමඩ් 2020 වර්ෂයේ යුද්ධ හමුදා පා පන්දු කණ්ඩායමට එක් වූ දක්‍ෂ ක්‍රීඩකයෙකි. ඔහු 2019 වර්ෂයේ FA කුසලානයේ හොඳම ක්‍රීඩකයා ලෙස ජාතික කණ්ඩායමට තේරී පත්වූයේය.