Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd March 2023 09:54:19 Hours

යාපනයේ අඩු ආදායම්ලාභී පවුලකට යුද්ධ හමුදාවෙන් නව නිවසක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 වන පාබල සේනාංකයට අයත් 551 පාබල බලසේනාවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් සහ ඔවුන්ගේ තාක්‍ෂණික දැනුම, ශ්‍රම දායකත්වය ලබාදෙමින් දානපතියෙකුගේ මූල්‍යමය අනුග්‍රාහකත්වය ඇතිව පේදුරුතුඩුව තුම්පලෙයි (ඊ) ප්‍රදේශයේ දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන අඩු ආදායම් ලාභී පවුලක් වෙත නව නිවසක් ඉදිකර දෙන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට විසින් නිවාස ලාභිනී ඇන්ටනි දීනස් තර්ෂනී මහත්මිය ඇතුළු පවුලේ සාමාජිකයින් වෙත නව නිවසේ යතුර පසුගිය බදාදා (01) සංකේතාත්මකව ප්‍රදානය කරන ලදී.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය සහ 55 වන සේනාංකයේ භටපිරිස් විසින් නිවාස ලාභිනියගේ ආර්ථික දුෂ්කරතාවයන් සැලකිල්ලට ගෙන ඒ පිළිබඳව දැනුවත් කිරීමෙන් අනතුරුව, මේජර් ජෙනරල් රවී රත්නසිංහම් (විශ්‍රාමික) ගේ මූලිකත්වයෙන් සහ මෝදර/මට්ටක්කුලිය සිංහ සමාජය සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව නව නිවස ඉදිකිරීම් සඳහා අවශ්‍ය මූල්‍යමය ප්‍රථිපාදන රැස්කරන ලදී.

55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න ගුණරත්නගේ උපදෙස් යටතේ 551 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජූඩ් කාරියකරවන විසින් නව නිවසේ ඉදිකිරීම් කටයුතු සම්බන්ධීකරණය කරන ලදී.

උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ මේජර් ජෙනරාල් ස්වර්ණ බෝතොට විසින් නිවාස ලාභී පවුල වෙත වියළි ආහාර සලාක ඇසුරුම්, මුළුතැන්ගෙයි උපකරණ සහ අනෙකුත් අවශ්‍ය ගෘහ භාණ්ඩ ද ප්‍රදානය කරන ලදී.

උත්සව අවස්ථාව සඳහා පේදුරුතුඩුව ප්‍රාදේශීය ලේකම් අල්වායිපිල්ලේ සිරි මහතා, රාජ්‍ය නිලධාරීන්, ශාන්තකුමාර් සහ Wanni Aid නියෝජිත එන් ජෙගනාදන් යන මහත්වරුන්, 551 වන සහ 552 වන පාබල බලසේනාවේ බලසේනාධිපතිවරුන්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ආරාධිත අමුත්තන් සහ ප්‍රදේශවාසීන් පිරිසක්ද සහභාගි වූහ.