Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යාපනය ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක්

උඩුත්තුරෙයි, කඩ්ඩෙයිකාඩු ප්‍රදේශයේ දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වන තවත් පවුලක් පිළිබඳ ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර ගේ අවධානය යොමුවීමෙන් අනතුරුව ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ සේවයේ නියුතු භටපිරිස්හි තාක්‍ෂණික දැනුම, ඉංජිනේරු සහ ශ්‍රම දායකත්වයත්වය මත එම පවුල වෙත නව නිවසක් ඉදිකර දෙන ලදී.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය සම්බන්ධීකරණය මත යාපනය ප්‍රදේශයේ පරිත්‍යාගශීලී විෂ් නඩරාජා මහතා විසින් ලබාදුන් මූල්‍යමය අනුග්‍රාහකත්වය මත නිවාසලාභි විජයකාන්තන් වසන්තකුමාරි මහත්මිය සහ එතුමියගේ දියණියන් තිදෙනා වෙත මෙම නව නිවස ඉදිකරදෙන ලදී. 55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න ගුණරත්න ගේ අධීක්‍ෂණය යටතේ ඉදිකරනු ලැබූ මෙම නව නිවස පසුගිය අඟහරුවාදා (27) දින හින්දු ආගමික සම්ප්‍රදායන්ට අනුකූලව පැවති කෙටි උත්සවයකදී ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර ගේ සුරතින් විවෘත කරනු ලැබීය.

553 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රොහාන් ජයකොඩි ගේ මඟපෙන්වීම සහ 12 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් ඩබ්ලිව්.ටී.එස්. නයනජීව ගේ අධීක්‍ෂණය මත එම ඒකකයේ භටපිරිස් විසින් නව නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය ශ්‍රම දායකත්වය සහ තාක්‍ෂණික දැනුම ලබා දෙන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය ගේ සුරතින් සමරු ඵලකය නිරාවරණය කිරීමෙන් පසු ආගමික වතාවත්හී නිරත වීමෙන් අනතුරුව නිවාසලාභින් වෙත නව නිවසේ යතුරු භාරදෙනු ලැබීය. මෙම අවස්ථාව සඳහා පරිත්‍යාගශීලී විෂ් නඩරාජා මහතා ද එක්විය. මෙම අවස්ථාවේදි, ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර විසින් නිවාසලාභී පවුලේ සාමාජිකයින් වෙත නව නිවසට අවැසි උපකරණ සහ වියළි සලාක පාර්සලයක් ද පරිත්‍යාග කරන ලදී. එමෙන්ම, නිවාසලාභී පවුලේ සහ මෙම අවස්ථාවට එක් වූ එම ප්‍රදේශයේ වෙසෙන පාසල් සිසු සිසුවියන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදුකිරීමේ අරමුණින් ඔවුන් වෙත කියවීමේ සහ අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණ පරිත්‍යාගයක් ද සිදුකරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා 55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න ගුණරත්න, ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, බලසේනාධිපතිවරුන්, වෙත්තිලකේනි නාවික හමුදා කඳවුරේ අණදෙන නිලධාරී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රජයේ නිලධාරින්, නිවාසලාභී පවුලේ සාමාජිකයන්, අසල්වැසියන් සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය භටපිරිස් ද එක්වූහ.