Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th March 2023 20:20:51 Hours

යාපනය කාන්තා භටපිරිස් දායකත්වයෙන් ජාත්‍යන්තර කාන්තා දිනය සමරති

මෙම මස 8 වන දිනට යෙදී තිබූ ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ආරක්‍ෂක සේනා මුලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත සියලුම රෙජිමේන්තු නියෝජනය කරමින් කාන්තා නිලධාරිනියන් සහ කාන්තා සෙබලියන්ගේ දායකත්වයෙන් වැඩසටහන් මාලාවක් පවත්වනු ලැබූ අතර, එහිදී ආරක්‍ෂක සේනා මුලස්ථානය - යාපනය පරිශ්‍රයේ එළවළු/පළතුරු යෙදා ගනිමින් සිදුකල කැටයම් හා අත්කම් ප්‍රදර්ශනයක්, හරවත් දේශනයන්, වොලිබෝල් තරඟාවලියක් සහ සංගීත සංදර්ශනයක් පවත්වනු ලැබීය. ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී හර්ෂනී බෝතොට මහත්මියගේ ප්‍රධානත්වයෙන් ‘ඇය ජාතියේ අභිමානයයි’ යන තේමාව යටතේ පවත්වනු ලැබූ මෙම වැඩසටහන් මාලාවට 215 කට අධික කාන්තා නිලධාරිනියන් සහ කාන්තා සෙබලියන්ගේ පිරිසක් සඳහා සහභාගි වූහ.

වැඩ සටහන අතරතුර, කන්කසන්තුරේ පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂකතුමන් විසින් ‘කාන්තා අයිතීන් සහ ළමා අයිතිවාසිකම්’ යන මැයෙන් හරවත් දේශනයක් පවත්වමින් සමාජයේ විවිධ පැතිකඩයන් පිළිබඳව අදහස් දැක්වීය. 7 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කාන්තා සෙබළියන් එළවළු/පළතුරු යෙදා ගනිමින් සිදුකල කැටයම් හා අත්කම් ප්‍රදර්ශනයේ මූලිකත්වය ගෙන කටයුතු කරනු ලැබීය. වැඩසටහනට සමගාමීව, ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ රාජකාරි කරනු ලබන කාන්තා වොලිබෝල් කණ්ඩායම් 9 කගේ සහභාගීත්වයෙන් සඳුදා (6) දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය ගෘහස්ථ ක්‍රීඩාංගනයේ වොලිබෝල් තරඟාවලියක් ද පවත්වනු ලැබීය. උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිතයින් වශයෙන් සහභාගී වූ මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට සහ හර්ෂනී බෝතොට මහත්මිය විසින් ජයග්‍රාහිකාවන් සඳහා හිමි ත්‍යාග සහ සහතිකපත් බෙදා දෙනු ලැබූහ. සන්ධ්‍යාවේ පැවති සංගීත සංදර්ශනයෙන් අනතුරුව උත්සව කටයුතු අවසන් විය.