14th October 2023 17:31:00 Hours
මුලතිව් ප්‍රදේශයේ සේවයේ නියුතු ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් රැසකගේ සහභාගිත්වයෙන් මුලතිව් විධායක නිලධාරීන්ගේ සංගමයේ ප්‍රථම නිල රැස්වීම පසුගිය බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් මස 05) දින 591 පාබල බලසේනා මූලස්ථානයේදී පැවැත්විණි.
ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ සංකල්පයකට අනුව ‘Together We Achieve More’ තේමාව ඔස්සේ මුලතිව් විධායක නිලධාරීන්ගේ සංගමය පිහිටුවනු ලැබීය. මුලතිව් දිස්ත්‍රික්කයේ විධායක මට්ටමේ රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් සංසදයක් පිහිටුවීමේ අරමුණින් ස්ථාපිත කරනු ලැබූ මෙම සංගමය අන්‍යෝන්‍යය සුහදත්වය ප්‍රවර්ධනය කිරීම සහ කණ්ඩායම් ක්‍රියාකාරකම් තුළින් විශිෂ්ඨ රාජ්‍ය සේවයක් ඉටුකිරීම වෙනුවෙන් ස්ථාපිත කරනු ලැබීය.
59 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ. දොලගේ යූඑස්පී පීඑස්සී සහ කර්නල් එච්.කේ.පී. කරුණාතිලක ආර්එස්පී ගේ අධීක්‍ෂණය හා සංවිධායකත්වය මත එම සංගමයේ ප්‍රථම රැස්වීම පැවැත්විණි.
උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීය. පසුව, 59 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් විසින් මුලතිව් විධායක නිලධාරීන්ගේ සංගමයේ සංකල්පය සහ ඉදිරි ගමන්මඟ පිළිබඳ දැනුවත් කරනු ලැබීය. ඉන් අනතුරුව, පොලිස් නිලධාරින්, සුරාබදු, ආපදා කළමනාකරණ සහ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවල නියෝජිතයින් විසින් රැස්ව සිටි පිරිස දැනුවත් කිරීමේ සැසි පවත්වන ලදී. එම ප්‍රදේශයේ යුද්ධ හමුදාව වෙතින් සිදුකරනු ලබන ප්‍රජා සත්කාරක වැඩසටහන් බෙහෙවින් අගය කළ අතර මෙම සංගමය පිහිටුවීම සම්බන්ධයෙන් සිය ස්තූතිය ද යුද්ධ හමුදාව වෙත පුදකළහ.
මුලතිව් දිස්ත්‍රික් ලේකම් ගරු ඒ. උමාමහේෂ්වරන් මහතා මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර, එතුමන් භටපිරිස් වෙත ස්තූතිය පුදකරමින් සමාප්ති දේශනය පවත්වන ලදී. මෙම අවස්ථාව සඳහා මුලතිව් ප්‍රදේශයේ සේනාංකාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු විධායක නිලධාරීන් 69 දෙනෙකු සහභාගී වූහ.