Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th August 2023 11:17:38 Hours

මාලි රාජ්‍යයේ සාම සාධක රාජකාරි සඳහා 5 වන සංග්‍රාමික රථ ආරක්‍ෂක භට ඛණ්ඩයේ දෙවන කණ්ඩායම පිටත්ව යයි

මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායීකරණ මෙහෙයුම් මධ්‍යස්ථානයේ (MINUSMA) එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සඳහා මෙරටින් පිටත්ව යන වෘත්තීයමය පුහුණුව ලත් නිලධාරින් 03 දෙනෙක් සහ සෙසුනිලයන් 70 දෙනෙකුගෙන් සමන්විත 5 සංග්‍රාමික රථ ආරක්‍ෂක භට ඛණ්ඩයේ (CCC) දෙවන කණ්ඩායම අඟහරුවාදා (අගොස්තු මස 29) දින සන්ධ්‍යාවේ මාලි රාජ්‍යය බලා පිටත්ව ගියහ.

සාමසාධක භටපිරිස් කණ්ඩායම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් පිටත්ව යන අවස්ථාවට ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති හා යුද්ධ හමුදා මූලස්ථානයේ උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය.

5 වන සංග්‍රාමික රථ ආරක්‍ෂක භට ඛණ්ඩය සඳහා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය, ශ්‍රී ලංකා සංඥා බලකාය, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව, ඉංජිනේරු සේවා බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුව යන යුද්ධ හමුදා රෙජිමේන්තු නියෝජනය කරන නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසකගෙන් සමන්විත විය. මෙවර සාම සාධක රාජකාරි සඳහා පිටත්ව යන යුද්ධ හමුදා කණ්ඩායමේ බහුතරය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව නියෝජනය කරමින් සහභාගී වේ.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගුවන් තොටුපල පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම 5 වන සංග්‍රාමික රථ ආරක්‍ෂක භට ඛණ්ඩයේ දෙවන කණ්ඩායමේ සාමාජිකයන් යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟින් සමූහ ඡායාරූපයකට පෙනීසිටියහ. 5 වන සංග්‍රාමික රථ ආරක්‍ෂක භට ඛණ්ඩයේ ප්‍රථම කණ්ඩායම වශයෙන් සාමාජිකයන් 170 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් 2023 ජූලි මස 01 දින මාලි රාජ්‍යය බලා පිටත්වූහ.

පිටත්ව යන කණ්ඩායමට සුභ පැතීම සඳහා ගමන් පාලන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් කේ.එල්.එස්.එස්. ලියනගම ආර්ඩබ්ලිව්පි ආර්එස්පී, විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ජී.එල්.එස්.ඩබ්ලිව්. ලියනගේ යූඑස්පී පීඑස්සී, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් සී.එස්. තිබ්බොටුගේ, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, සෙසුනිලයන් සහ පවුලේ සාමාජිකයින් ගුවන් තොටුපළට පැමිණ සිටියහ.