Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th October 2022 22:41:09 Hours

මාදුරුඔය විශේෂ බළකා පුහුණු පාසලේ පාඨමාලාවන් හැදෑරු විශේෂ බලකා සෙබළුන් කණ්ඩායම් දෙකක් විසිරයයි

මාතෘභූමියේ ආරක්‍ෂාව වෙනුවෙන් ඕනෑම මෙහෙයුමක් සිදුකිරීමට නිරතුරුවම සූදානමින් සිටිමින් ජාතියේ අභිමානය සුරැකීම උදෙසා විශිෂ්ඨයින් අතර විශිෂ්ඨයින් ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බලකායට එක්ව විශේෂ බලකා පුහුණු පාඨමාලා අංක - 52 සහ 53 යටතේ මාස නවයක අති දුෂ්කර පුහුණු පාඨමාලාව සාර්ථකව හැදෑරු නිලධාරින් 19 දෙනෙකු සහ සෙසුනිලයින් 595 දෙනෙකුගේ විසිරයාමේ පෙළපාලිය පසුගිය සෙනසුරාදා (29) දින මාදුරුඔය විශේෂ බළකා පුහුණු පාසලේ දී පැවැත්විණි.

විශේෂ බලකා පුහුණු පාසල වෙත සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මෙන්ම විශේෂ බලකායේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩී.ජී.එස් සෙනරත් යාපා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ විශේෂ බලකා පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් ඩී.එස් හොරවලවිතාන ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගත් අතර, අනතුරුව විශේෂ බලකා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිරිනමන ලදී.

ඉන්පසුව අධීෂ්ඨානයෙන් යුතුව අභීතව අරමුණ කරා යන විශිෂ්ඨයන්ගෙන් සැදුම්ලත් අලංකාරවත් විසිරයාමේ පෙළපාලියේ ගෞරවාචාරය යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ඉතා අලංකාරවත් හා අභීත අයුරින් පිරිනමනු ලැබිණි.

අනතුරුව, විශේෂ බලකා පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් කළ සෙබළුන් වෙත පැලඳවීමට නිමිත විශේෂ බලකා ලාංඡන සරඹ භූමිය වෙත සුවිශේෂීත්වයක් එක්කරමින් ගුවනින් රැගෙන එන ලද අතර, ඉන් පසුව මෙම විසිරයාමේ පෙළපාලියට ගෞරවයක් එක්කරමින් සපැමිණි, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් පාඨමාලාව සාර්ථකව අවසන් කළ විශිෂ්ඨයින් වෙත විශේෂ බලකා ලාංඡන පැළඳවීම සිදුකරනු ලැබීය. ඒ සඳහා මේජර් ජෙනරල් ඩී.ජී.එස් සෙනරත් යාපා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, මේජර් ජෙනරල් ඩබ්ලිව්.ටී.ඩබ්ලිව්.ජී ඉහළගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී, මේජර් ජෙනරල් ජෙ.පී.සී පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී, මේජර් ජෙනරල් එච්.ඩී.ඩබ්ලිව්.කේ.එන් ඊරියගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සහ මේජර් ජෙනරල් ආර්.එම්.එම් රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද එක්වූහ. ඉන් අනතුරුව, විශිෂ්ඨයන් ලෙස විශේෂ බලකායට එක්වු සෙබළුන්ට විශේෂ බලකා ප්‍රතිඥාව ලබාදීම එහිදි සිදුවිය.

ඉන් පසුව, විශිෂ්ඨයන් අතරින් විශිෂ්ඨයින්ට හිමි කුසලාන සහ සහතික පත් පිරිනැමීම යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් සිදුවිය. විශේෂ බලකා පුහුණු පාඨමාලා අංක - 51 සහ 52 හි අතිශුර සිසුන්ට හිමි කුසලානයන් පිලිවෙලින් කපිතන් ඩී.එච්.එම්.ටී.එම් හේරත් සහ දෙවන ලුතිනන් ජේ.එස්.එස්.එම් ජයකොඩි විසින් හිමිකරගත්තේය. පාඨමාලාවන්හි දක්‍ෂතම ශාරිරික යෝග්‍යතාවයට හිමි කුසලානයන් හිමිකරගැනීමට ලුතිනන් ටී.ඒ.කේ.එස් රත්නායක සහ ලාන්ස් කෝප්‍රල් චන්ද්‍රසිරි ආර්.එම් සමත්වූ අතර, දක්‍ෂතම වෙඩික්කරුට හිමි කුසලානයන් ලාන්ස් කෝප්‍රල් දේශප්‍රිය යූ.බී.ආර්.පී සහ ලාන්ස් කෝප්‍රල් කුමාර ජේ.ටී.පී හිමිකරගැනීමට සමත්වූහ.

අනතුරුව, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මෙම අවස්ථාව ආමන්ත්‍රණය කරමින් විසිරයාමේ පෙළපාලියට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස තමාට ආරාධනා කිරීම පිළිබඳව විශේෂ බලකායට සිය කෘතඥතාවය පුද කළේය. රට වෙනුවෙන් දිවිපිදු හා රණක්‍ෂිතයට පත් විශේෂ බලකායේ විරෝදාර රණවිරුවන් එහිදි සිහිපත් කළ යුද්ධ හමුදාධිපතිතුමන් ඔවුන්ගේ සුවිශේෂි හැකියාවන් සහ විශේෂ බලකායේ කීර්තිමත් ගෞරව නාමය සෑමවිටම ආරක්‍ෂා කරගනිමින් මාතෘභූමියේ ස්වෛරිත්වය ආරක්‍ෂා කරගැනීම උදෙසා කැපවීමෙන් යුතුව ජාතියේ ආරක්‍ෂාව වෙනුවෙන් ආදර්ශමත් ලෙස තම රාජකාරින් සිදුකරන ලෙසත්, විසිරයන විශිෂ්ඨයන්ගෙන් ඉල්ලා සිටියේය.

සිය දේශනය අතරතුරදී විශේෂ බලකායේ ඉතිහාසය පිළිබඳ විස්තර කළ යුද්ධ හමුදාධිපතිතුමන් මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් ඔවුන් සිදුකළ අසමසම දායකත්වය වෙනුවෙන් සිය කෘතඥතාවය ද ඔවුන් වෙත පිරිනැමුහ. යුද්ධයෙන් දිවිපිදූ සහ රණක්‍ෂිතයට පත් විශේෂ බලකායේ වීරෝදාර රණවිරුවන් සිහිපත් කළ යුද්ධ හමුදාධිපතිතුමන් විශේෂ බලකාය වෙත විසිර යන විශිෂ්ඨයන් දායාද කළ දෙමාපියන් ද පැසසුමට ලක් කළේය.

ත්‍රිවිධ හමුදාවේ උන්නතිය වෙනුවෙන් රජය දක්වන සහයෝගය පිළිබඳව ද සිහිපත් කළ යුද්ධ හමුදාධිපතිතුමන් සිය දේශනය අතරතුරදී, සියලුම ආබාධිත සහ සේවයේ නියුතු විශේෂ බලකායේ සාමාජිකයින් වෙත කෘතවේදීත්වය පුදකළ අතර, විශේෂ බලකායට සම්බන්ධවීමේ ඇති ගෞරවය හා අභිමානය ද සිහිපත් කළේය.

යුද්ධ හමුදාධිපතිතුමන් මෙම අවස්ථාව ආමන්ත්‍රණය කිරීමෙන් අනතුරුව විසිරයන විශිෂ්ඨයින්ගෙන් සමන්විත අලංකාරවත් පෙළපාලියේ ගෞරවාචාරය යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිරිනැමුවේය.

මෙහිදී පැමිණ සිටි සියලු දෙනාට ආශ්වාද ජනක නැවුම් අත්දැකීමක් එක්කරමින් තූර්ය වාදන සංදර්ශනයක්, ගුවන් කරනම් ඇතුලත් පැරෂුට් සංදර්ශනයක්, ටයිකොන්ඩෝ සංදර්ශනයක්, විශේෂ බලකා කුසලතා ප්‍රදර්ශනය කෙරෙන සංදර්ශනයක්, නගරබද සටන්වල ක්‍රියාකාරකම් හා සම්බන්ධ යතුරුපැදි සන්දර්ශනයක් සහ විශේෂ බලකා රණකාමිත්වය විදහාපාමින් නගරබද සටන් හා නිරායුධ සටන් සංදර්ශනයක් සමඟින් විසිරයාමේ උත්සව කටයුතු නිමාවට පත්විය. පසුව, පාඨමාලාව සාර්ථකව අවසන් කල නිලධාරින් සහ සෙබළුන් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටි යුද්ධ හමුදාධිපතිතුමන් විසිර යෑමේ පෙළපාලිය වෙනුවෙන් සපැමිණි ජ්‍යෙෂ්ඨ නිලධාරින්, පුහුණු පාසලේ නිලධාරින්, සමභාවනීය ආරාධිතයින් සහ අනෙකුත් නිලධාරින් සමඟින් තේ පැන් සංග්‍රහයකට ද එක්වූහ.

මෙම උත්සව අවස්ථාව සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී ජානකී ලියනගේ මැතිණිය, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන්, යුද්ධ හමුදාවේ අධ්‍යක්‍ෂ මණ්ඩලවල අධ්‍යක්‍ෂවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ආරාධිතයින්, විසිරයන විශිෂ්ඨයන්ගේ දෙමාපියන් සහ ඥාති හිතමිත්‍රාදීන් පිරිසක් සහභාගි වූහ.