Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th February 2023 11:15:05 Hours

භටකාර්ය සම්පාදක මාණ්ඩලික පාඨමාලා - අංක 9 (LSC) හි ශිෂ්‍ය නිලධාරීන් ක්‍ෂේත්‍ර චාරිකාවක

යුද්ධ හමුදා භටකාර්ය සම්පාදන පුහුණු පාසල මගින් පවත්වනු ලබන භටකාර්ය සම්පාදක මාණ්ඩලික පාඨමාලා - අංක 09 (LSC) හි ශිෂ්‍ය නිලධාරීන් විසින් එම පාඨමාලාවේ අන්තර්ගතයක් ලෙස පසුගිය සිකුරාදා (03) ත්‍රිකුණාමලයේ චීන වරායේ පිහිටි ලංකා ඉන්දියානු තෙල් කර්මාන්ත ශාලා පර්යන්තයන් (IOC PLC) නැරඹීමේ ක්‍ෂේත්‍ර චාරිකාවක නිරත වූ අතර, එහි ප්‍රධාන අරමුණ වූයේ එම කර්මාන්තවල සැලසුම්කරණය සහ කළමනාකරණය පිළිබඳ නවීන න්‍යායන් සහ භාවිතයන් පිළිබඳ දැනුම ලබාගැනීමයි.

ලංකා ඉන්දියානු තෙල් කර්මාන්ත ශාලා පර්යන්තයෙහි ජ්‍යෙෂ්ඨ උප සභාපති ඩී මුකර්ජි (D Mukerji) මහතා විසින් යුද්ධ හමුදා භටකාර්ය සම්පාදන පුහුණු පාසලෙහි නියෝජිත පිරිස පිළිගත් අතර, එහිදී එතුමන් එම තෙල් කර්මාන්ත ශාලා පර්යන්තය සහ තෙල් ගබඩා භූමියේ ඓතිහාසික වැදගත්කම පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් ඉදිරිපත් කළේය. මෙම එක්දින වැඩමුළුවේදී පෙට්‍රල්, ඩීසල් සහ ලිහිසි තෙල් වැනි ඛනිජ තෙල් නිෂ්පාදනය, සැපයුම සහ කළමනාකරණය පිළිබඳව විස්තර කරන ලද අතර, අනතුරුව ඉන්ධන තටාක, තෙල් කර්මාන්ත ශාලා ජැටිය, ගිනි නිවීමේ පොම්පාගාරය, ලිහිසි තෙල් පිරිපහදු කම්හල සහ රසායනාගාරය නැරඹීමේ අවස්ථාවද හිමි වූහ.

ක්‍ෂේත්‍ර චාරිකාව අතරතුර, සම්මත තත්ත්ව පාලන ක්‍රම සහ ඉන්ධන පර්යන්තයේ ආරක්‍ෂිත ක්‍රමවේදයන් පිළිබඳවද ශිෂ්‍ය නිලධාරීන් වෙත පැහැදිලි කරන ලද අතර, එම ශිෂ්‍ය නිලධාරීන් වෙත සහතිකපත් ප්‍රදානයක්ද සිදුකරනු ලැබූහ.

ක්‍ෂේත්‍ර චාරිකාව සනිටුහන් කරමින් යුද්ධ හමුදා භටකාර්ය සම්පාදන පුහුණු පාසලෙහි සේනාවිධායක බ්‍රිගේඩියර් මේනක ප්‍රනාන්දු විසින් ඩී මුකර්ජි මහතා වෙත එම පුහුණු පාසල වෙතින් නිකුත්කරනු ලබන ‘ද ගෝල්ඩන් ලොග්’ (The Golden Log) සඟරාවෙහි පිටපතක් සමරු තිළිණයක් ලෙස ප්‍රදානය කරන ලදී.

භටකාර්ය සම්පාදක මාණ්ඩලික පාඨමාලා - අංක 9 හදාරනු ලබන නේපාල ජාතික එකම ශිෂ්‍ය නිලධාරී වෙත ශ්‍රී ලංකා‍ව සම්බන්ධයෙන් දැනුම වර්ධනය කිරීම සඳහා මෙම පාඨමාලාවේ මූලික ඉදිරිපත් කිරීම ලෙස ශ්‍රී ලංකා‍ව පිළිබඳ දැනුවත් කිරීමේ ඉදිරිපත් කිරීමක් ඉකුත් සෙනසුරාදා (04) දින සිදුකරනු ලැබීය.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බ්‍රිගේඩියර් මේනක ප්‍රනාන්දු සහභාගී වූ මෙම උත්සව අවස්ථාවට නේපාල යුද්ධ හමුදාවේ මේජර් ආදිත්‍ය ප්‍රතාප් සිං ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර, යුද්ධ හමුදා භටකාර්ය සම්පාදන පුහුණු පාසලෙහි ප්‍රධාන උපදේශක, පීඨ සාමාජිකයින්, නිත්‍ය කාර්යය මණ්ඩලය සහ ශිෂ්‍ය නිලධාරීන් ද සහභාගී වූහ.