Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd March 2023 09:55:21 Hours

බුත්තල යුද්ධ හමුදා යුද විද්‍යාලයේ සම්බන්ධීකරණයෙන් පාසල් සිසුසිසුවියන්ට පාසල් උපකරණ පරිත්‍යාගයක්

බුත්තල යුද්ධ හමුදා යුද විද්‍යාලයේ භටපිරිස් විසින් කොළඹ රාජකීය විද්‍යාලයේ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ මූල්‍යමය සහයෝගය මත මොණරාගල ප්‍රදේශයේ පාසල් තුනක අධ්‍යාපනය ලබන සිසුසිසුවියන්ට පාසල් ලිපි ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගිය අඟහරුවදා (14) දින පැවැත්විණි.රුපියල් 3500.00 ක වටිනාකමකින් යුත් පාසල් ලිපි ද්‍රව්‍ය ඇසුරුම් 238 ක් මෙහිදී ප්‍රදානය කළ අතර ‘අත-හිත 2023’ පදනම සහ බුත්තල යුද්ධ හමුදා යුද විද්‍යාලයේ සේනාවිධායක සහ කාර්යය මණ්ඩලය එක්ව මෙම වැඩසටහන සම්බන්ධීකරණය කරනු ලැබීය.

දානපති ප්‍රසාද් ලොකුබාලසූරිය මහතා ප්‍රධානත්වය දරණ ‘අත හිත 2023’ සමාජ සත්කාරක වැඩසටහන මගින් මොණරාගල දිස්ත්‍රික්කයේ ගෝනගංආර කනිෂ්ඨ විද්‍යාලයේ පාසල් සිසුසිසුවියන් වෙත පාසල් ලිපිද්‍රව්‍ය ඇසුරුම් 121ක් ද මහගොඩ යාය ජනශංක ආදර්ශ පාසලේ සිසුසිසුවියන් වෙත පාසල් ලිපිද්‍රව්‍ය ඇසුරුම් 79ක් ද තෙරේලා කනිෂ්ඨ විද්‍යාලයේ සිසුසිසුවියන් වෙත පාසල් ලිපිද්‍රව්‍ය ඇසුරුම් 38ක් ද පරිත්‍යාග කරන ලදී. උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ යුද්ධ හමුදා යුධ විද්‍යාලයේ සේනාවිධායක බ්‍රිගේඩියර් මානද යහම්පත් විසින් පාසල් සිසුසිසුවියන් වෙත පොත්පත් සහ පාසල් ලිපි ද්‍රව්‍ය ඇසුරුම් බෙදා දුන් අතර, යුද්ධ හමුදා යුධ විද්‍යාලයේ නියෝජ්‍ය සේනාවිධායක බ්‍රිගේඩියර් සමන් සේනාරත්න ඇතුළු එම විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, කාර්යය මණ්ඩලය, උපදේශකවරුන් සහ ශිෂ්‍ය නිලධාරීන් ද සහභාගී වූහ.