Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st June 2023 20:27:14 Hours

බස් අනතුර වැළැක්වූ කෝප්‍රල්වරයාගේ නීර්භීත ක්‍රියාව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

මහනුවර සිට මහියංගනය දක්වා ගමන් කරමින් තිබූ බස්රථයකට පසුගිය සිකුරාදා (26) දින සිදුවීමට ගිය විශාල අනතුර වළක්වමින් එහි ගමන් ගත් මගීන් පනහකට අධික පිරිසගේ ජීවිත බේරා ගත් 4 ශ්‍රී ලංකා පාබල හමුදාවේ කෝප්‍රල් කේ.එම්.බී.ආර්.කේ.එල් කරුණාරත්නගේ නිර්භීත ක්‍රියාව ඇගයීමට ලක්කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් යුද්ධ හමුදාධිපති ප්‍රශංසනාත්මක ලාංඡනය පිළිගැන්වූයේය.

ජූනි මස 01 දිනට යෙදුණු යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පදවියට පත්වී වර්ෂ පූර්ණය වෙනුවෙන් පැවැත්වූ උත්සවයට සමගාමීව යුද්ධ හමුදාධිපති කාර්යාලයේ දී මෙම කටයුත්ත සිදු කෙරුණි.

අදාළ කෝප්‍රල්වරයා ගමන් ගත් බස් රථය උඩුදුම්බර ප්‍රදේශයෙන් ගමන් කරන අවස්ථාවේදී එහි රියදුරු වංගුවකදී රියදුරු අසුනෙන් ඉවතට විසි වී ඇති අතර, මීටර් 50ක් පමණ දුරක් රියදුරු නොමැතිව බස් රථය ගමන් කර ඇත.

එම සිදුවීම දුටු යුද්ධ හමුදා සෙබල කෝප්‍රල් කේ.එම්.බී.ආර්.කේ.එල් කරුණාරත්න යුහුසුලුව ක්‍රියාත්මක වී රියදුරු නොමැතිව ධාවනය වූ බස් රථයේ රියදුරු අසුනට ගොස් මහත් පරිශ්‍රමයක් දරා බස් රථය පාලනය කර නවත්වාගැනීමට සමත් විය.

යුද්ධ හමුදාධිපතිතුමන් විසින් කෝප්‍රල් කේ.එම්.බී.ආර්.කේ.එල් කරුණාරත්න වෙත යුද්ධ හමුදාධිපති ප්‍රශංසනාත්මක ලාංඡනය පිළිගන්වමින් නිර්භීත සෙබළෙකු ලෙස සිදුකල මෙම ආදර්ශවත් ක්‍රියාව පිළිබඳව ප්‍රශංසා කරමින් ඔහුගේ අනාගතය සඳහා සුබ පැතුම් එක් කළේය.

මෙම නිර්භීත ක්‍රියාව සඳහා ඔහුව පොළඹවා ඇත්තේ යුද්ධ හමුදාව තුලින් ලද අත්දැකීම් සහ සෙබළාගේ පුහුණුව මිස අන් කිසිවක් නොවන බව ද යුද්ධ හමුදාධිපතිතුමන් එහිදී වැඩි දුරයත් ප්‍රකාශ කළේය. තත් කොනොනි විශේෂ පාබල ක්‍රියාන්විත පාඨමාලාව, නායකත්ව සහ වෘත්තීය සංවර්ධන පාඨමාලාව, සහ මූලික ආපදා ප්‍රතිචාර පාඨමාලාව හදාරා තිබීමද එහිදී කැපී පෙණිනි.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහ 4 ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ඩබ්ලිව්.පී.ඩී.ඩී.ආර් වීරපුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී සහභාගී වූහ.