Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

පොදුරාජ්‍ය මණ්ඩලීය යුද විරුවන් සැමරේ

ජාවත්ත, කොළඹ 05 සුසාන භූමියේ පිහිටි පොදුරාජ්‍ය මණ්ඩලීය යුද ස්මාරකය අභියසදී අද (11) දින සන්ධ්‍යාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය වෙතින් පවත්වනු ලැබූ ‘රණවිරු අනුස්මරණ උත්සවය’ සඳහා විශේෂ ආරාධිතයෙකු ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ක්‍රිෂාන්ත ද සිල්වා නියෝජනය කරමින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් උභය මැදවෙල සහභාගී විය.

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය සහ පොදුරාජ්‍ය මණ්ඩලීය යුද අනුස්මරණ කමිටුව එක්ව සංවිධානය කරන මෙම අනුස්මරණ උත්සවය සෑම වසරකම පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල ලෝක යුද්ධයෙන් විපතට පත් වූවන්ට උපහාරයක් ලෙස පැවැත්වේ.

රණවිරු ස්මාරකය අභියස පුෂ්පෝපහාර පුදකර විනාඩියක නිශ්ශබ්දතාවක් පැවැත්වීමෙන් උත්සවයේ ආරම්භය සනිටුහන් කෙරිණි.

මෙම අවස්ථාවට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් අතිගරු ජේම්ස් ඩවුරිස් (HE James Dauris), පොදුරාජ්‍ය මණ්ඩලීය යුද අනුස්මරණ කමිටුවේ නියෝජිතයන්, යුද්ධ, නාවික හා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානීන් එක්ව සිටියහ.

පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල යුද ප්‍රවීණයන් 1,999 දෙනෙකු ශ්‍රී ලංකාවේදී සිය දිවි පූජාකර ඇත. පොදුරාජ්‍ය මණ්ඩලීය යුද අනුස්මරණ කමිටුව වෙතින් කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශයේ ස්ථාන දෙකක් ඇතුළු දිවයින පුරා පිහිටි විවිධ සුසාන භූමියන්හි මෙම අනුස්මරණයන් සිදුකරයි.

ජාවත්ත සුසාන භූමියේ ඇති රණවිරු ස්මාරකය පොදුරාජ්‍ය මණ්ඩලීය සෙබළුන් 346 දෙනෙකුගේ සහ නෙදර්ලන්තයේ එක් සෙබලෙකුගේ නම් දරයි. එම ස්ථානයේම පිහිටි අනෙක් ස්මාරකය හින්දු ආගමික හමුදා භටයින් 165 දෙනෙකු අනුස්මරණය වෙනුවෙන් ස්ථාපිත කර ඇත.

කොළඹ ප්‍රදේශයේ ස්ථාන හතරක, මහනුවර සහ ත්‍රිකුණාමලයේ එක් ස්ථානයක් වශයෙන් ශ්‍රී ලංකාවේ පොදුරාජ්‍ය මණ්ඩලීය යුද්ධ සුසාන භූමි හයක් පිහිටා ඇත. අනෙකුත් පොදුරාජ්‍ය මණ්ඩලීය යුදමය වශයෙන් විපතට පත්වූවන් ජාවත්ත සුසාන භූමිය, කුප්පියාවත්ත මුස්ලිම් සුසාන භූමිය, මහනුවර සිවිල් සුසාන භූමිය, මහනුවර ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යානය සහ නුවරඑළිය ශුද්ධ වූ ත්‍රිත්ව දේවස්ථානයේ තැන්පත් කර ඇත.