Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th July 2023 18:49:03 Hours

පැරා මලල ක්‍රීඩා ලෝක ශූරතාවලියේ පදක්කම් හිමිකරගනිමින් දිවයිනට පැමිණි ක්‍රීඩකයින් උණුසුම් අයුරින් පිළිගනී

පැරිස් නුවර පැවති පැරා මලල ක්‍රීඩා ලෝක ශූරතාවලිය - 2023, දස්කම් දක්වා දිවයිනට පැමිණි ශ්‍රී ලංකා පැරා මලල ක්‍රීඩකයින් බදාදා (ජුලි මස 19) දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ඔවුන් පිළිගැනීමේ අවස්ථාවට ශ්‍රී ලංකා ජාතික පැරා කමිටුවේ සහ යුද්ධ හමුදා පැරා කමිටුවේ නිලධාරීන් පැමිණ සිටියහ. ජාතික කණ්ඩායම නියෝජනය කරමින් පැරා මලල ක්‍රීඩකයින් තිදෙනෙකු පැරිස් නුවර පැවති එම ශූරතාවලියට සහභාගී වූ අතර, ඔවුන් අතරින් ජාතික පැරා කමිටුව විසින් අනුග්‍රහය දක්වන ලද ගජබා රෙජිමේන්තුවේ බළලත් නිලධාරි 1 ඩී. ප්‍රියන්ත (වෛද්‍ය හේතූන්මත යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගොස් ඇත) සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් බලකායේ මාණ්ඩලික සැරයන් කේ.ඒ.එස් දුලාන් යන ක්‍රීඩකයින් හෙල්ල විසිකිරීමේ F-46 සහ F 44 කාණ්ඩයන්හි ලෝකඩ පදක්කම් දිනා ගන්නා ලදී.

දිවයිනට පැමිණි එම ක්‍රීඩකයින් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැරා කමිටුවේ උප සභාපති බ්‍රිගේඩියර් ජේ.පී විතානාච්චි, ජාතික පැරා කමිටුවේ සභාපති කර්නල් දීපාල් හේරත් (විශ්‍රාමික), ජාතික පැරා කමිටුවේ නිලධාරීන්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් පැමිණ සිටියහ.