Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

පාපන්දු කුසලානය - 2019 ජය යාපනය ආරක‍්‍ෂක සේනා මූලස්ථාන කණ්ඩායමට

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ උපදෙස් මත 52 වන සේනාංකයේ අධීක්‍ෂණය යටතේ 522 වන බලසේනාව විසින් සංවිධානය කරනු ලැබු පාපන්දු කුසලානය - 2019 තරගාවලියේ ජය හිමිකරගැනීමට යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථාන කණ්ඩායම සමත්විය.

පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගය ඉකුත් සඳුදා (23) දින 5 වන ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකා ක්‍රීඩාංගනයේදී පැවැත්වූ අතර, පාපන්දු ලෝලීන් සහ සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් සහභාගී වූ එම උත්සව අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය සහභාගී වූ අතර තවද එම අවස්ථාවට සේනාංකාධිපතිවරු, බලසේනාධිපතිවරු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

මෙම පාපන්දු තරඟාවලිය සඳහා 51, 52 සහ 55 සේනාංකයන් සහ ඉදිරි නඩත්තු ප්‍රදේශය ඇතුළුව යාපනයේ ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු භට පිරිස් නියෝජනය කරමින් පාපන්දු කණ්ඩායම් 10 ක් සහභාගී වුහ.

අවසන් මහා තරඟය සඳහා යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථාන කණ්ඩායම සහ 51 වන සේනාංක කණ්ඩායම සුදුසුකම් ලැබු අතර එම තරගයේදී 51 වන සේනාංකය පරාජය කරමින් ජය හිමිකර ගැනිමට ආරක්‍ෂක සේනා මූලස්ථාන කණ්ඩායමට හැකිවිය. ඉන් අනතුරුව පැවති සම්මාන ප්‍රදානෝත්සවයේදී 51 වන සේනාංකයේ සැරයන් ඒ.පී.ජී.එස්. වීරසිංහට හොඳම දැල් රකින්නාට හිමි සම්මානයත් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ ලාන්ස් කෝප්‍රල් එන්.ඒ.කේ.දුෂ්මන්ත වෙත හොඳම ක්‍රීඩකයාට හිමි සම්මානය පිරිනමන ලදි.

මෙම සම්මාන ප්‍රදානෝත්සවය අවසානයේ යාපනය ආරක්ෂක සේනා ආඥාපතිතුමන් විසින් යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ජයග්‍රාහී කණ්ඩායමට පාපන්දු කුසලානය -2019’ ප්‍රදානය කළේය.Running sport media | Air Jordan