Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th August 2022 22:15:48 Hours

නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් ධම්මි හේවගේ වෙත ගජබා රෙජිමේන්තුවේ ගෞරවාචාරය

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙනුවෙන් දශක තුනකට අධික කාලයක් විශිෂ්ඨ සේවයක් ඉටුකර නුදුරේදී යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ලබන හිටපු අධ්‍යක්‍ෂ ජෙනරාල් පාබල ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ධම්මි හේවගේ වෙත ගෞරවාචාර පිරිනැමීමේ උත්සවයක් සාලියපුර පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් රෙජිමේන්තු පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් ධම්මි හේවගේ සිය රෙජිමේන්තුවේ නිර්මාතෘ වන දිවංගත මේජර් ජෙනරල් විජය විමලරත්න ගේ පිළිරුව වෙත පුෂ්පෝපහාර පුදකිරීමෙන් අනතුරුව එතුමන් වෙත ගජබා රෙජිමේන්තු භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ. ඉන් අනතුරුව, විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරි එම රෙජිමේන්තු සරඹ භූමියේ විශේෂ පීඨිකාව වෙත කැඳවාගෙන යෑමෙන් අනතුරුව එතුමන් වෙත ගෞරවාචාර පුදකිරීම වෙනුවෙන් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකළහ.

මෙම උත්සවයට සුවිශේෂීත්වයක් එක් කරමින් එම රෙජිමේන්තු පරිශ්‍රයේදී මේජර් ජෙනරල් ධම්මි හේවගේ ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ විශ්‍රාම යෑම වෙනුවෙන් පවත්වනු ලැබූ රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා ගජබා රෙජිමේන්තුවේ සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ද එක්විය.

එමෙන්ම, රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ සාමාජිකයින්, මධ්‍යස්ථාන සේනාවිධායක, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අණදෙන නිලධාරින් සහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සියලුම මාණ්ඩලික නිලධාරින් ද මෙම අවස්ථාවට එක්වූහ.