Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th April 2024 20:30:34 Hours

නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

වසර 35 කට අධික කීර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී සිය පවුලේ සාමාජිකයන් සමඟින් ඉකුත් බදාදා (අප්‍රේල් මස 17) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය.

නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් යුද්ධ හමුදාව වෙනුවෙන් ඉටුකළ අනුපමේය සේවය මෙම සුහද හමුවේදී යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට ලක්විය. මව්බිම ත්‍රස්තවාදයෙන් මුදවාගැනීම වෙනුවෙන් 2009 මැයි මාසයට ප්‍රථම ක්‍රියාත්මක කළ මානුෂීය මෙහෙයුමේදී එතුමන් දැක්වූ සක්‍රීය දායකත්වය සහ අගනා කාර්යභාරය වෙනුවෙන් මෙහිදී යුද්ධ හමුදාධිපතිතුමන් සිය කෘතඥතාවය පුදකළේය.

මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී මෙම අවස්ථාවට ආරාධනය කිරීම වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ස්තුතිය පුද කළ අතර, යුද්ධ හමුදා සේවා කාලය තුළ විවිධ තනතුරු හෙබවීමේදී ලබාදුන් දිරිගැන්වීම් හා මඟපෙන්වීම වෙනුවෙන් ද සිය කෘතඥතාවය පුදකළේය.

එහිදී, විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සිය පවුලේ සාමාජිකයන්ගෙන් දුරස්ව රාජකාරියේ නිරතව සිටියදී එතුමන් වෙත පවුලේ සාමාජිකයන් ලබාදුන් සහයෝගය වෙනුවෙන් ද යුද්ධ හමුදාධිපතිතුමන් සිය ස්තූතිය පුදකරනු ලැබීය.

සුහඳ හමුව සමාප්තියේ, යුද්ධ හමුදාධිපතිතුමන් මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී වෙත සමරු තිළිණයක් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් වෙත විශේෂ තිළිණයක් ද ප්‍රදානය කරනු ලැබීය..

එතුමන් පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:

වර්ෂ 1989 පෙබරවාරි මස 17 දින කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලසේනාව වෙත බැඳුනු මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් සහ පාකිස්තාන යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක - 31 සාර්ථකව අවසන් කර 1990 ඔක්තෝබර් මස 05 දින දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව වෙත අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් එතුමන් 2022 මැයි මස 17 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය.

විශ්‍රාම දිවියට පා තබන විට එතුමන් ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බලකාධිපති යන ධූරයන් හෙබවීය. එතුමන්ගේ කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලය තුළ 7 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ඛණ්ඩ භාර නිලධාරී සහ විධායක අධිකාරී, කාලතුවක්කු බලසේනාවේ මාණ්ඩලික නිලධාරි 3 (භඨකාර්ය සම්පාදක), 7 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බතරොයි නිලධාරි අණදෙන, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කැඩෙට් නිලධාරි පුහුණු අංශයේ නිලධාරි උපදේශක, 223 පාබල බලසේනාවේ බලසේනා මේජර්, 9 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බතරොයි නිලධාරි අණදෙන, 21 පාබල සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 2 (පුහුණු), 9 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ දෙවන අණදෙන නිලධාරි, ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (ක්‍රියාන්විත), 11 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරි, 11 පාබල සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (ක්‍රියාන්විත), නිලධාරි ප්‍රවර්ධන ප්‍රගමන මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ උපදේශක , 11 පාබල සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී, කාලතුවක්කු පුහුණු පාසලේ සේනාවිධායක, 623 පාබල බලසේනාවේ කාර්යයේ නියුක්ත බලසේනාධිපති, ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී සහ 55 පාබල සේනාංකයේ සේනාංකාධිපති වැනි ධූරයන් රැසක් හොබවා ඇත.

මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී මානුෂීය මෙහෙයුමේදී දැක්වූ නිර්භීතකම හේතුවෙන් එතුමන් වෙත 'රණශූර පදක්කම' පිරිනමා ඇත.

එතුමන්, සිය හමුදා දිවිය තුළ කාලතුවක්කු තරුණ නිලධාරීන්ගේ පාඨමාලාව, ඛණ්ඩභාර නිලධාරීන්ගේ උපක්‍රම පාඨමාලාව, නිලධාරීගේ මාණ්ඩලික රාජකාරි පාඨමාලාව, කනිෂ්ඨ මාණ්ඩලික පාඨමාලාව, යුද්ධ හමුදා අණ සහ මාණ්ඩලික පාඨමාලාව, කාලතුවක්කු තරුණ නිලධාරීන්ගේ පාඨමාලාව - ඉන්දියාව, උසස් කාලතුවක්කු පුහුණු පාඨමාලාව - ඉන්දියාව, නිලධාරීන්ගේ කාලතුවක්කු මාණ්ඩලික පාඨමාලාව - පකිස්ථානය, කාලතුවක්කු බලඇණි අණදෙන්නන්ගේ පාඨමාලාව - චීනය සහ ජාතික ආරක්‍ෂක සහ උපාය මාර්ගික අධ්‍යයන පාඨමාලාව - චීනය ඇතුළු දේශීය හා විදේශීය පාඨමාලා රාශියක් හදාරා ඇත.

මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී ‘Eye Movement and Desensitization Therapy’ පිළිබඳ ශ්‍රී ලංකා ‘EMDR’ ආයතනයේ පුහුණුව, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ජාතික උපදේශන ඩිප්ලෝමාව, කොළඹ විශ්ව විද්‍යාලයේ උපදේශනය සහ මනෝවිද්‍යාත්මක සමාජීය සහය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ උපදේශනය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාව සහ කොළඹ විශ්ව විද්‍යාලයේ උපදේශනය සහ මනෝවිද්‍යාත්මක සමාජීය සහය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ආදී උසස් අධ්‍යාපනික පාඨමාලා සහ හමුදා නොවන උසස් අධ්‍යාපනික පාඨමාලා රැසක්ද හදාරා ඇත.