Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th April 2024 19:15:57 Hours

නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් ආර්.ඒ.ජේ.එන් රණසිංහ ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

වසර 34 කට අධික කීර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් ජෙනරල් ආර්.ඒ.ජේ.එන් රණසිංහ ආර්එස්පී යූඑස්පී එන්ඩීසී සිය පවුලේ සාමාජිකයන් සමඟින් අඟහරුවාදා (අප්‍රේල් මස 16) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය.

නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් යුද්ධ හමුදාව වෙනුවෙන් ඉටුකළ අනුපමේය සේවය මෙම සුහද හමුවේදී යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට ලක්විය. මව්බිම ත්‍රස්තවාදයෙන් මුදවාගැනීම වෙනුවෙන් 2009 මැයි මාසයට ප්‍රථම ක්‍රියාත්මක කළ මානුෂීය මෙහෙයුමේදී එතුමන් දැක්වූ දායකත්වය සහ අගනා කාර්යභාරය ද මෙහිදී යුද්ධ හමුදාධිපතිතුමන් සිහිපත් කළේය.

මේජර් ජෙනරල් ආර්.ඒ.ජේ.එන් රණසිංහ ආර්එස්පී යූඑස්පී එන්ඩීසී මෙම අවස්ථාවට ආරාධනය කිරීම වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ස්තුතිය පුද කළ අතර, යුද්ධ හමුදා සේවා කාලය තුළ විවිධ තනතුරු හෙබවීමේදී ලබාදුන් දිරිගැන්වීම් හා මඟපෙන්වීම වෙනුවෙන් ද සිය කෘතඥතාවය පුදකළේය.

එහිදී, විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සිය පවුලේ සාමාජිකයන්ගෙන් දුරස්ව රාජකාරියේ නිරතව සිටියදී එතුමන් වෙත පවුලේ සාමාජිකයන් ලබාදුන් සහයෝගය වෙනුවෙන් ද යුද්ධ හමුදාධිපතිතුමන් සිය ස්තූතිය පුදකරනු ලැබීය.

සුහඳ හමුව සමාප්තියේ, යුද්ධ හමුදාධිපතිතුමන් මේජර් ජෙනරල් ආර්.ඒ.ජේ.එන් රණසිංහ ආර්එස්පී යූඑස්පී එන්ඩීසී වෙත සමරු තිළිණයක් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් වෙත විශේෂ තිළිණයක් ද ප්‍රදානය කරනු ලැබීය.

එතුමන් පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:

වර්ෂ 1989 ජූලි මස 14 දින කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුනු මේජර් ජෙනරල් ආර්.ඒ.ජේ.එන් රණසිංහ ආර්එස්පී යූඑස්පී එන්ඩීසී දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක - 32 සාර්ථකව අවසන් කර 1991 ජනවාරි මස 19 දින දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව වෙත අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් එතුමන් 2022 ඔක්තෝබර් මස 10 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය.

විශ්‍රාම දිවියට පා තබන විට එතුමන් 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති ධූරයේ රාජකාරි හෙබවීය. එතුමන්ගේ කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලය තුළ 7 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කණ්ඩ භාර නිලධාරී සහ බතරොයි නිලධාරි අණදෙන, දියතලාව ප්‍රදේශ මූලස්ථාන බලසේනාවේ මාණ්ඩලික කපිතන් (පරිපාලන) සහ බලසේනා මේජර්, 10 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මූලස්ථාන බතරොයියේ නිලධාරි අණදෙන, 4 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ දෙවන අණදෙන නිලධාරි, බටහිර සහරා හි එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් මූලස්ථානයේ හමුදා නිරීක්‍ෂක, 7 කාර්ය සාධක බලකායේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (ක්‍රියාන්විත) සහ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී, 14 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරි, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරි 1 (භඨකාර්ය සම්පාදක), 55 පාබල සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී, 573 පාබල බලසේනාවේ කාර්යයේ නියුක්ත බලසේනාධිපති, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක සහ 62 පාබල සේනාංකයේ සේනාංකාධිපති වැනි ධූරයන් රැසක් හොබවා ඇත.

මේජර් ජෙනරල් ආර්.ඒ.ජේ.එන් රණසිංහ ආර්එස්පී යූඑස්පී එන්ඩීසී මානුෂීය මෙහෙයුමේදී දැක්වූ නිර්භීතකම හේතුවෙන් එතුමන් වෙත රණශූර පදක්කම පිරිනමා ඇත.

මේජර් ජෙනරල් ආර්.ඒ.ජේ.එන් රණසිංහ ආර්එස්පී යූඑස්පී එන්ඩීසී සිය හමුදා දිවිය තුළ කාලතුවක්කු තරුණ නිලධාරීන්ගේ පාඨමාලාව, කණ්ඩාභාර නිලධාරීන්ගේ උපක්‍රම පාඨමාලාව, ඒකක පරිපාලන පාඨමාලාව, නිලධාරීන්ගේ විශිෂ්ටතා පාඨමාලාව, කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව, නිරීක්‍ෂක සහ මාණ්ඩලික නිලධාරි පාඨමාලාව, ප්‍රධාන තොරතුරු තාක්‍ෂණ නිපුණතා පාඨමාලාව,ජාතික ආරක්‍ෂක පාඨමාලාව, කාලතුවක්කු තරුණ නිලධාරීන්ගේ පාඨමාලාව - ඉන්දියාව, නිලධාරීන්ගේ කාලතුවක්කු ස්ථානගත කිරීමේ පාඨමාලාව - පාකිස්ථානය, රෙජිමේන්තු සංඥා නිලධාරීන්ගේ පාඨමාලාව - ඉන්දියාව, උසස් කාලතුවක්කු පුහුණු පාඨමාලාව - ඉන්දියාව, ඒකාබද්ධ මෙහෙයුම් මාණ්ඩලික පාඨමාලාව - චීනය සහ කාලතුවක්කු බලඇණි අණදෙන්නන්ගේ පාඨමාලාව - චීනය ඇතුළු දේශීය හා විදේශීය පාඨමාලා රාශියක් හදාරා ඇත.

මීට අමතරව, එතුමන් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ජාතික ආරක්‍ෂාව සහ උපායමාර්ගික අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හදාරා ඇත.