Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th May 2023 17:05:39 Hours

නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානීගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

දශක තුනකට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන විශේෂ බලකා රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු වන යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩී.ජී.එස් සෙනරත් යාපා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සිය භාර්යාව වන නයනි සමන්ති සෙනරත් යාපා මහත්මිය, ගවේෂ් සුදාරක සෙනරත් යාපා සහ අසෙල් භානුක සෙනරත් යාපා යන පුතුන් සමගින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සිදුකරනු ලැබූ ආරාධනයකට අනුව සඳුදා (29) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය.

වසර 36 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවාකාලය අවසන් කර නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන මේජර් ජෙනරල් ඩී.ජී.එස් සෙනරත් යාපා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සිය යුද්ධ හමුදා සේවා කාලය තුළ කැපවීමෙන් හා පරාර්ථකාමීත්වයෙන් යුතුව විවිධ වගකීම් ඉටුකරමින් කළ සේවය වෙනුවෙන් එතුමන් වෙත ප්‍රශංසා කළේය. 2009 මැයි මාසයට පෙර කුරිරු ත්‍රස්තවාදයට එරෙහිව පැවැති මානූෂීය මෙහෙයුමේදි වගකීම් සහිත විශේෂ බලකා සාමාජිකයෙකු ලෙස ඉටුකරනු ලැබු සේවය සහ දායකත්වය මෙන්ම වටිනා කාර්යභාරය පිළිබඳව ද එහිදී යුද්ධ හමුදාධිපතිතුමන් සිහිපත් කළේය.

යුද්ධ හමුදාධිපතිතුමන් සහ මේජර් ජෙනරල් ඩී.ජී.එස් සෙනරත් යාපා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ මෙන්ම එතුමන්ගේ පවුලේ සාමාජිකයින් සමඟින් පැවති සුහඳ පිළිසඳරේදී තත් ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවා කාලය පුරාවටම ඔහුගේ පවුලේ සාමාජිකයන් ඔහුට ලබාදුන් සහය යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ඇගයීමට ලක්කළේය.

යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන මේජර් ජෙනරල් ඩී.ජී.එස් සෙනරත් යාපා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සිය රාජකාරී කාල සීමාව තුළ යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් දිරිගැන්වීම සහ තම රාජකාරින් ඉටුකිරීමේදී ලබාදුන් මගපෙන්වීම පිළිබඳවත් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය කෘතඥතාව පළ කළේය.

මෙම සුහඳ හමුව අවසානයේ, යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකළ සේවය ඇගයීමට ලක්කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් එතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් වෙත විශේෂ ත්‍යාගයක්ද ප්‍රදානය කළේය.

වර්ෂ 1987 මාර්තු මස 16 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳුනු මේජර් ජෙනරල් ඩී.ජී.එස් සෙනරත් යාපා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය වෙතින් කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 27 - යටතේ මූලික පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් පසුව 1988 දෙසැම්බර් මස 10 දින දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත්ව ගජබා රෙජිමේන්තුව වෙත අනුයුක්ත කරනු ලැබීය. 1989 ඔක්තෝබර් මස 10 දින විශේෂ බලකායට එක් වූ එතුමන් ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් වර්ෂ 2020 ජුනි මස 02 වන දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය.

නුදුරේදී විශ්‍රාම දිවියට එළඹීමට නියමිත එතුමන් දැනට යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, විශේෂ බලකායේ බලකාධිපති සහ ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ කාර්යයේ නියුතු සේනාවිධායක යන තනතුරු ද හොඹවනු ලබයි. එතුමන් 3 වන ගජබා රෙජිමේන්තුවේ ඛණ්ඩ භාර නිලධාරී, 1 වන විශේෂ බලකායේ කණ්ඩායම් නිලධාරී අණදෙන, 1 වන විශේෂ බලකායේ ‘සී’ බළඝණයේ සහ ‘එෆ්’ බළගණයේ දෙවන අණදෙන නිලධාරී, 2 වන විශේෂ බලකායේ ‘බී’ බළගණයේ නිලධාරී අණදෙන, විශේෂ බලකා පුහුණු පාසලේ ජ්‍යෙෂ්ඨ උපදේශක, විශේෂ බලකා බළසේනාවේ බලසේනා මේජර්, 3 වන විශේෂ බලකායේ දෙවැනි අණදෙන නිලධාරී, 1 වන සහ 3 වන විශේෂ බලකායන්හි වැඩබලන අණදෙන නිලධාරී, විශේෂ බලකා පුහුණු පාසලේ සේනාවිධායක, 593 පාබල බලසේනාවේ වැඩබලන බලසේනාධිපති, විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ වැඩබලන මධ්‍යස්ථාන සේනාවිධායක, විශේෂ බලකා බලසේනාවේ බලසේනාධිපති, ආරක්‍ෂක සේනා මූලස්ථානය - කිලිනොච්චිය බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී, 57 වන පාබල සේනාංකයේ වැඩබලන සේනාංකාධිපති, 14 පාබල සේනාංකයේ සේනාංකාධිපති, ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර, ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක වැනි ධූරයන් හොබවා ඇත.

යුද බිමේ එතුමන් දැක්වූ වීරක්‍රියා සහ නිර්භීතකම වෙනුවෙන් ‘රණ වික්‍රම පදක්කම’ සහ ‘රණ සූර පදක්කම’ යන සම්මානයන්ගෙන් එතුමන් පිදුම් ලබා ඇත.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ කීර්තීමත් යුද්ධ හමුදා සේවා කාලය තුළ විශේෂ බලකා මූලික පාඨමාලාව, ආරක්‍ෂක සහ උපාය මාර්ගික අධ්‍යයන පාඨමාලා සහ නායකත්ව වැඩසටහන, මූලික පැරෂුට් පාඨමාලාව - ඉන්දියාව, කමාන්ඩෝ පාඨමාලාව - ඉන්දියාව, තරුණ නිලධාරීන්ගේ පාඨමාලාව - ඉන්දියාව, Mid-Career Course - පාකිස්ථානය, හමුදා නිරීක්ෂකයින්ගේ පාඨමාලාව - ඉන්දියාව, ඒකක අණදෙන නිලධාරීන්ගේ පාඨමාලාව - චීනය සහ ආරක්‍ෂක සහ උපායමාර්ගික අධ්‍යයන පාඨමාලාව - චීනය ඇතුළු දේශීය හා විදේශීය පාඨමාලා රැසක් ද සාර්ථකව හදාරා ඇත.

එතුමන් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ ආරක්‍ෂක විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සහ චීනයේ බීජිං ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ උපාය මාර්ගික හමුදා අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද හදාරා ඇත.