Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

නිවාස අවශ්‍යතා සහිත කන්තලේ ප්‍රදේශයේ පවුල් දෙකක් වෙත යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් නව නිවාස

කන්තලේ ප්‍රදේශයේ පදිංචිව සිටින නිවාස අවශ්‍යතා සහිත පවුල් දෙකක් වෙනුවෙන් යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් ඉදිකරනු ලැබූ තවත් නව නිවාස දෙකක් පසුගිය බදාදා (8) දින ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන ගේ සුරතින් නිවාසලාභින් වෙත පවරාදෙනු ලැබීය.

එම නිවාසලාභී පවුල් දෙකෙහි අවශ්‍යතාවයන් පිළිබඳ දැනුවත් වීමෙන් අනතුරුව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මූල්‍යමය අනුග්‍රාහකත්වය හා 5 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් බී.පී.සී වන්නිආරච්චි ගේ අධීක්‍ෂණය යටතේ මෙම නව නිවාස ඉදිකරනු ලැබීය.

බෞද්ධ සම්ප්‍රදායානුකූලව පැවති නව නිවාස දෙක විවෘත කිරීමේ උත්සවයන්හී ආරම්භය සනිටුහන් කරමින් පළමු නිවසේ යතුරු, ආබාධිත මවක් වන ජී. තක්‍ෂිලා සුභාෂිණී මහත්මිය සහ ඇයගේ පවුලේ සාමාජිකයින් වෙත භාරදෙන ලදී. එමෙන්ම, දෙවන නිවස එහි ප්‍රථිලාභී ඩබ්ලිව්.එම්. නිලූකා ප්‍රියංගනී මහත්මිය වෙත භාරදුන් අතර ඇයගේ පුතුන් දෙදෙනා ලියුකේමියා රෝගයෙන් පෙළෙනු ලබයි.

මෙම අවස්ථාවන්හිදී, 5 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් නිවාසලාභී පවුල් දෙක වෙත ගෘහ භාණ්ඩ තොගයක් ද පරිත්‍යාග කරන ලදී.

මෙම නව නිවාස දෙකෙහි විවෘත කිරීමේ උත්සව අවස්ථාවන් සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර, 22 වන සේනාංකයේ සේනාංකාධිපති, 222 වන බලසේනාවේ බලසේනාධිපති, එම බලසේනාවේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරි, 5 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරී සහ ත්‍රිකුණාමලය ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රාදේශීය කළමණාකාරතුමන් ද එක්වූහ.