Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th September 2023 19:18:10 Hours

දිවංගත ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සාමාජිකයෙකුගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් නව නිවසක්

2020 වසරේ සේවයේ නියුතුව සිටියදී අඟුරුවැල්ල ප්‍රදේශයේදී රිය අනතුරකින් ජීවිතක්‍ෂයට පත් වූ 2 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කෝප්‍රල්වරයෙකුගේ සේවය අනුස්මරණය කරමින් එම ඒකකයේ භටපිරිස්හි දායකත්වයෙන් ඉදිකරනු ලැබූ නව නිවසක් පසුගිය සිකුරාදා (සැප්තැම්බර් මස 08) දින අභාවප්‍රාප්ත කෝප්‍රල්වරයාගේ භාර්යාව සහ දරුවන් දෙදෙනා වෙත පවරාදෙනු ලැබීය.

උත්සවය අතරතුර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති සහ යුද්ධ හමුදා විනයාරක්‍ෂාධිපති මේජර් ජෙනරල් ඒ.සී.ඒ. ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී ගේ සුරතින් අභාවප්‍රාප්ත කෝප්‍රල් ජී.එම්.ආර්.එස්. අබේරත්න ගේ භාර්යාව වෙත භාරදුන්නේය. එම අවස්ථාව සඳහා දිවංගත කෝප්‍රල්වරයාගේ වයස අවුරුදු 7 ක් වන පුතනුවන් සහ වයස අවුරුදු 3 ක් වන දියණිය ද සහභාගී වූහ.

2 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කෝප්‍රල් ජී.එම්.ආර්.එස්. අබේරත්න වර්ෂ 2020 මැයි මස 7 දින අනපේක්‍ෂිත ලෙස මාර්ග අනතුරක් හේතුවෙන් ජීවිතක්‍ෂයට පත් වූ අතර ඔහුගේ පවුලේ සාමාජිකයන් නිසි වාසස්ථානයක් නොමැතිව මේ දක්වා විවිධ දුෂ්කරතාවයන්ට මුහුණදෙමින් ජීවත්විය.

කැනඩාවේ වෙසෙන චමිලා ජයතිලක මහත්මිය සහ ඇගේ සැමියා වන සෝන්ඩර්ස් ජයතිලක මහතා ගේ අනුග්‍රාහකත්වය මත නිදන කාමර දෙකක්, කෑම කාමරයක්, මුළුතැන්ගෙයක් සහ නාන කාමරයක් සහිත නව නිවස ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සහ ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස්හි තාක්‍ෂණික දැනුම සහ ශ්‍රම දායකත්වය ලබාදුන්හ.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ ගේ මඟපෙන්වීම සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපතිතුමන්ගේ උපදෙස් මත අභාවප්‍රාප්ත රණවිරුවාගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් මෙම නව නිවස ඉදිකරනු ලැබීය.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ප්‍රියන්තිකා ද සොයිසා මහත්මිය එක්ව නිවාසලාභි පවුලේ සාමාජිකයන් වෙනුවෙන් අවශ්‍ය මුල්‍ය ආධාර සහ අත්‍යාවශ්‍ය ගෘහභාණ්ඩ සඳහා අවශ්‍ය මූල්‍යමය දායකත්වය ලබාදුන්හ.

නව නිවස ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා පුහුණු පාසලේ සේනාවිධායක සහ සියලුම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා ඒකකයන්හි අණදෙන නිලධාරින්ගේ සහයෝගය ද නන් අයුරින් ලබාදුන්හ. 2 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ හිටපු අණදෙන නිලධාරීන් වන ලුතිනන් කර්නල් ආර්. විතානආරච්චි යූඑස්පී එල්එස්සී, ලුතිනන් කර්නල් එන්.පී.ඊ.එන්. නේරංගම යූඑස්පී එල්එස්සී සහ වත්මන් අණදෙන නිලධාරි මේජර් කේ.එන්. ඉන්ද්‍රජිත් යූඑස්පී එල්එස්සී ගේ අධික්‍ෂණය මත මෙම ව්‍යාපෘතිය සාර්ථකව නිමකරනු ලැබීය.

නව නිවස විවෘත කිරීමේ උත්සව අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන්, රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ සාමාජිකයන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.