Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th May 2023 19:20:56 Hours

දිවංගත මේජර් සේපාල දහනායක වෙත පිං අනුමෝදන් කරමින් 58 පාබල සේනාංකයෙන් පුණ්‍ය වැඩසටහන් මාලාවක්

2009 මැයි මාසයට ප්‍රථම පැවති උතුරු නැගෙනහිර මානුෂීය මෙහෙයුමේදී 3 ශ්‍රී ලංකා පාබල හමුදාවට අනුයුක්තව රාජකාරි ඉටුකරමින් සිටියදී දිවිපිදූ විශේෂ බලකායේ දිවංගත මේජර් සේපාල දහනායක අනුස්මරණය කරමින් 58 පාබල සේනාංක මූලස්ථානය වෙතින් වෙසක් පුර පසලොස්වක පොහෝ දින (මැයි මස 05) පිංකම් මාලාවක් සංවිධානය කරනු ලැබීය.

58 පාබල සේනාංකයේ භටපිරිස්හි සම්බන්ධීකරණය මත මෙම අවස්ථාවට සහභාගී වූ දිවංගත මේජර් සේපාල දහනායක ගේ මෑණියන් වන සාරා යාපා මහත්මිය විසින් මරණයට කැප වූ ගවයෙකු නිදහස් කරනු ලැබීය. අනතුරුව කඳවුරු පරිශ්‍රය වෙත මහා සංඝරත්නය වැඩමවා දානය පිරිනැමූ අතර එම භික්‍ෂූන් වහන්සේලා විසින් සියලු යුද්ධ හමුදා සාමාජිකයන් වෙත පිං අනුමෝදන් කළහ. එදින සන්ධ්‍යාවේ පුත්තලම ‘අභයාරාම’ විහාරස්ථානය වෙත පෙරහැරක් පවත්වමින් බුද්ධ ප්‍රතිමාවක් වැඩමවා එම විහාරස්ථානයට පූජා කිරීමෙන් අනතුරුව බෝධි පූජාවක් ද පැවැත්විණි.

58 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.ටී.ඩබ්ලිව්.ජී ඉහළගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී ගේ ප්‍රධානත්වයෙන් එම පරිශ්‍රයේ ඉදිකර තිබූ වෙසක් පහන් කූඩු විවෘත කල අතර, මෙම සියලුම වැඩසටහන් එතුමන්ගේ මඟපෙන්වීම මත සංවිධානය කෙරිණි.