Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

දිවංගත මේජර් ජෙනරාල් විජය විමලරත්නගේ ගුණ සැමරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ දිවංගත මේජර් ජෙනරාල් විජය විමලරත්නගේ 25වන ගුණ සැමරුම් උත්සවය ඉරිදා (06) දින අනුරාධපුර, සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ දී පවත්වනු ලැබීය.

ගජබා රෙජිමේන්තුවේ, රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ආරාධනයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

ගජබා රෙජිමේන්තුව විසින් සංවිධානය කරන ලද මෙම ගුණ සැමරුම් උත්සවයේදී සර්ව රාත්‍රික පිරිත් සඡ්ඡායනාවක් පවත්වා ඉරිදා (06) දින උදෑසන අස්ගිරි පාර්ශවයේ මහානායක අති පූජ්‍ය වරකාගොඩ ඥානරත්න ස්වාමීන්වහන්සේ ප්‍රධාන මහා සංඝයා වහන්සේලා සියක් නමක් උදෙසා දානය පිළිගන්වනු ලැබීය.

ආගමික වැඩසටහන්වලට ප්‍රථම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ඇතුළු දිවංගත මේජර් ජෙනරාල් විජය විමලරත්නගේ පවුලේ ඥාතීන් විසින් එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පිහිටි රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුදකළහ.

මෙම වැඩසටහන් මාලාවේ තවත් අංගයක් ලෙස යුද්ධ හමුදාධිපතිවරයා විසින් දිවංගත මේජර් ජෙනරාල් විජය විමලරත්නගේ ජායාරූපයක් නිරාවරණය කළ අතර, මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ විජය විමලරත්න මැතිණිය විසින් එතුමාගේ ඡායාරූපය වෙත මල්මාලාවක් පලඳවනු ලැබීය. අනතුරුව, යුද්ධ හමුදාධිපතිවරයා සහ විමලරත්න මැතිණිය විසින් දිවංගත රණවිරුවා සිහිගන්වමින් විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි සටහන් තැබීමටද අමතක නොකළහ. එමෙන්ම, මෙම අවස්ථාව සිහිවනු වස් යුද්ධ හමුදාධිපතිවරයා කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කරනු ලැබූහ.

ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සමගින් මේජර් ජෙනරාල් විජය විමලරත්න, රියර් අද්මිරාල් මොහාන් ජයමහ, කර්නල් එච්.ආර් ස්ටිවන්, කර්නල් ජි.එච් ආරියරත්න, කර්නල් වයි.එන් පලිපාන, කමාන්ඩර් අසංග ලංකාතිලක, ලුතිනන් කර්නල් නලින් ද අල්විස්, ලුතිනන් කමාන්ඩර් සි.බි.විජයපුර සහ සාමාන්‍ය සෙබළ ඩබ්ලිව්.ටී වික්‍රමසිංහ යන අය 1992 අගෝස්තු මස 08 වන දින යාපනය, කයිට්ස් ප්‍රදේශයේ අරාලි තුඩුවේදි එල්.ටී.ටී.ඊය විසින් අටවන ලද බිම්බෝම්බයකට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්විය.