Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th May 2025 10:52:53 Hours

ද්විපාර්ශ්වික ආරක්‍ෂක සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් ජපාන ආරක්‍ෂක අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක

ජපාන - ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතා සහ ආරක්‍ෂක සහයෝගිතාවයන් ඉහළ නැංවීමේ අරමුණින් ජපාන ආරක්‍ෂක අමාත්‍ය ගරු නකටානි ජෙන් මැතිතුමන් නිල සංචාරයක් සඳහා සෙනසුරාදා (මැයි මස 03) දින ශ්‍රී ලංකාවට පැමිණියේය.

ජපාන ආරක්‍ෂක අමාත්‍යවරයා සමඟින් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අතිගරු අකියෝ ඉසෝමාටා මැතිතුමන් සහ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උප අමාත්‍ය ගරු කානෝ කෝජි මහතා 2025 මැයි මස 04 දින ශ්‍රී ජයවර්ධනපුර පිහිටි ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත පැමිණියහ.

ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රය වෙත පැමිණි ජපාන ආරක්‍ෂක අමාත්‍යවරයා වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයක් පිරිනැමීමෙන් අනතුරුව ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ඉන් අනතුරුව පැවති සුහඳ හමුවේදී, ජපානය සහ ශ්‍රී ලංකාව අතර ආරක්‍ෂක සබඳතා ශක්තිමත් කිරීම සහ සහයෝගීතාව වර්ධනය කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුකරමින්, පවත්නා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව එම ජ්‍යෙෂ්ඨ නිලධාරින් සාකච්ඡා කළහ. ආපදා කළමනාකරණය, දේශසීමා හරහා සිදුවන මිනිස් ජාවාරම වැළැක්වීම සහ සාගර කලාප ආශ්‍රිතව රාජ්‍ය නොවන ක්‍රියාකාරින්ගේ නීතිවිරෝධී මෙහෙයුම්වලට එරෙහිව සටන් කිරීම වැනි තීරණාත්මක ක්ෂේත්‍රවල සහයෝගීතාවයේ වැදගත්කම පිළිබඳව එහිදී අවධාරණය කෙරිණි.

ඒකාබද්ධ ප්‍රයත්නයන් තුළින් සාමය සහ සමෘද්ධිය ප්‍රවර්ධනය කරමින්, වඩාත් ආරක්‍ෂිත සහ ස්ථාවර ඉන්දියානු සාගර කලාපයක් පවත්වාගැනීම සඳහා වන ඔවුන්ගේ පොදු දැක්ම පිළිබඳව ද එහිදී අවධාරණය කළහ.

මෙරට ක්‍රියාත්මක ආපදා අවදානම් කළමනාකරණය, වෙරළාරක්‍ෂක මෙහෙයුම් සහ පුහුණු අවස්ථා සඳහා ජපානයේ දිගුකාලීන සහ අඛණ්ඩ සහයෝගීතාව පිළිබඳව ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් ජයසේකර (විශ්‍රාමික) සිය කෘතඥතාව පළ කළේය. ශ්‍රී ලංකාවේ සමුද්‍රීය නිරීක්‍ෂණ කටයුතු, කාලගුණ විද්‍යා වෙනස්වීම් පිළිබඳ දැනුවත් කිරීම සහ වෙරළාරක්‍ෂක මෙහෙයුම් වැඩිදියුණු කිරීම සඳහා ජපානය විසින් ලබාදෙන සහයෝගය පිළිබඳව ද එතුමන් විශේෂයෙන් අගය කළේය.

මෙම සුහඳ හමුවේදී, ජපාන ආරක්‍ෂක අමාත්‍ය ගරු නකටානි ජෙන් මැතිතුමන් විසින් ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රයත්නය අඟය කළ අතර, බුද්ධි තොරතුරු හුවමාරුව, අන්තරායකර හා හානිකර ද්‍රව්‍ය පිළිබඳ විශේෂඥ පුහුණුව, සයිබර් ආරක්‍ෂාව, සමුද්‍රීය සොදිසි කිරීම සහ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා සහයෝගය දැක්වීමට ද එතුමන් සිය කැමැත්ත ප්‍රකාශ කරන ලදී.

මෙම ජපන් දූත පිරිසට එරට ආරක්‍ෂක අමාත්‍යාංශයේ විශේෂ උපදේශක ලුතිනන් ජෙනරල් බෙන්ෂෝ කොයිචිරෝ (විශ්‍රාමික), ඒකාබද්ධ කාර්ය මණ්ඩලයේ උප මාණ්ඩලික ප්‍රධානි ලුතිනන් ජෙනරල් මට්සුනගා කෝජි ඇතුළු අධ්‍යක්‍ෂ ජෙනරල්වරුන් සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ඇතුළු තානාපති කාර්යාල නිලධාරින් කිහිපදෙනෙකු ද ඇතුළත් වූහ.

ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්තා (විශ්‍රාමික), ජාතික බුද්ධි ප්‍රධානි ඇතුළු ශ්‍රී ලංකා ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ත්‍රිවිධ හමුදාධිපතිවරුන්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකායේ අධ්‍යක්‍ෂ ජෙනරාල්, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ නැගෙනහිර ආසියානු අංශයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් ද මෙම ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා සහභාගි වූහ.

පසුව, ජපාන ආරක්‍ෂක අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස බොරැල්ල සුසාන භූමියට ගොස් දෙවන ලෝක යුද්ධයේදී මෙරට දී දිවිපිදූ ජපන් ජාතිකයන් සැමරීම සඳහා එහි පිහිටුවා ඇති ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වූහ.

(ඡායාරූප සහ ලිපිය සඳහා අනුග්‍රාහකත්වය: www.defence.lk)