Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th February 2023 23:00:21 Hours

දකුණු සුඩානයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරී සඳහා යොදවා සිටි යුද්ධ හමුදා වෛද්‍ය බලකා කණ්ඩායම රාජකාරී නිමාවෙන් පසුව දිවයිනට පැමිණෙයි

එක්සත් ජාතිනීගේ සාමසාධක මෙහෙයුම් යටතේ දකුණු සුඩානයේ ක්‍රියාත්මක කරන දෙවන මට්ටමේ රෝහලේ රාජකාරී සඳහා යොදවා සිටි නිලධාරීන් 10 දෙනෙකු සහ සෙසුනිලයින් 43 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ 8 වන කණ්ඩායම සිකුරාදා (03) දින උදෑසන දිවයිනට පැමිණෙන ලදී.

ඉතියෝපියානු ගුවන් සේවයට අයත් ET 8604 දරණ මගී ගුවන් යානයකින් සිකුරාදා (03) දින අළුයම 0230 ට පමණ කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණි යුද්ධ හමුදා සාමාජිකයින් පිරිස ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ශාන්ත කුමාර විසින් ඉතා උණුසුම් ලෙස පිළිගන්නා ලද අතර, මෙම අවස්ථාව සඳහා විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී I ලුතිනන් කර්නල් එම්.එල්.කේ.ජී පීරිස්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී I ලුතිනන් කර්නල් බී.ආර් මුහන්දිරම් අතුළු යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් සහභාගී වූහ.

එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරී සඳහා දකුණු සුඩානය බලා පිටත්ව ගිය 9 වන කණ්ඩායම පසුගිය බ්‍රහස්පතින්දා (2) දින දිවයිනෙන් පිටත්ව ගිය අතර, එහිදී එම කණ්ඩායම රාජකාරි නිමාවෙන් පසු දිවයිනට පැමිණීමට සිටින 8 වන කණ්ඩායමේ රාජකාරි නිල වශයෙන් භාරගන්නා ලදී.

දකුණු සුඩානය පදනම් කරගත් මෙම ‘SRIMED’ රෝහල තුළ ශල්‍යාගාරයක්, ප්‍රසූතකා ගාරයක්, දැඩි සත්කාර ඒකකයක්, හදිසි ප්‍රතිකාර අංශයක්, බාහිර රෝගී අංශයක්, දන්ත සැත්කම් ඒකකයක්, දන්ත වැඩමුළු ඒකකයක්, ඖෂධාගාරයක්, වෛද්‍ය ගබඩාවක්, විකිරණ වෛද්‍ය ඒකකයක්, සායනික රසායනාගාරයක්, ඊසීජී ප්‍රථිකාර ඒකකයක් ඇතුළු ද්විතීයික සත්කාර වෛද්‍ය සේවාවන් සඳහා අවශ්‍ය අංගයන්ගෙන් සමන්විතය. ඊට විෂබීජහරණ ඒකකයක්, ජෛව වෛද්‍ය ඉංජිනේරු අංශයක්, වෛද්‍ය අපද්‍රව්‍ය බැහැර කිරීමේ අංශයක්, වායූ සමනය කළ මෘත ශරීරාගාරයක්, හුදකලා වාට්ටුවක් සහ ලොන්ඩරි පහසුකම් සහිත වාට්ටු, වායූසමනය කරන ලද ගිලන්රථ පහසුකම් මෙන්ම ගුවන් මඟින් රෝගීන් ප්‍රවාහනය කිරිම සඳහා සියළු වෛද්‍ය පහසුකම් සහිත ගුවන් යානා පහසුකම් වලින්ද යුක්ත වන අතර, මෙම සියළු කටයුතු මෙහෙයවනු ලබන්නේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා කණ්ඩායම විසිනි.