Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th June 2023 18:33:39 Hours

ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් වෙනුවෙන් පැවති උසස් කළමණාකරන ඩිප්ලොමා පාඨමාලාව සාර්ථකව අවසන්

විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ජේ.ඒ.ආර්.එස්.කේ. ජයසේකර යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම මත ජාතික වෘත්තීය පුහුණු ආයතනය සමඟ එක්ව ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 19 දෙනෙකු වෙනුවෙන් මාස 6 ක කාලසීමාවක් පුරාවට පැවති උසස් කළමණාකරන ඩිප්ලොමා පාඨමාලාවේ සමාප්ති උත්සවය පසුගිය අඟහරුවාදා (20) දින ඔරුගොඩවත්ත ශ්‍රී ලංකා කොරියා ජාතික වෘත්තීය පුහුණු ආයතනයේදී පැවැත්විණි.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ මඟපෙන්වීම මත ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් හට විදෙස් පුහුණුව ලබාදීම වෙනුවට දේශීයව එම පුහුණුව ලබාදීමේ අරමුණින් මෙම පුහුණු පාඨමාලාව පවත්වනු ලැබීය. මෙම යුද්ධ හමුදා සාමාජිකයන් වෙනුවෙන් කාර්මික කළමනාකරණයේ ප්‍රවීණයන් ලෙස පිළිගනු ලබන පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල බහුලව භාවිතා කරන ‘Artificer’ සුදුසුකම මෙම පාඨමාලාව තුලින් ලබාදෙයි. පාඨමාලාධාරීන් වෙනුවෙන් අවම සම්පත් ප්‍රමාණයක් භාවිතා කිරීමේ හැකියාව ප්‍රගුණ කිරීම සහ විදේශ රැකියා අවස්ථා ලබාදීමේ අරමුණින් මෙම පාඨමාලාව පැවැත්විණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ජේ.ඒ.ආර්.එස්.කේ. ජයසේකර යූඑස්පී පීඑස්සී සහ ජාතික වෘත්තීය පුහුණු ආයතනයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් ප්‍රසන්න රණසිංහ (විශ්‍රාමික) සහභාගී වූ අතර එම ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ සුරතින් පාඨමාලාව සම්පූර්ණ කළ යුද්ධ හමුදා සාමාජිකයන් වෙත සහතිකපත් ප්‍රදානය කරන ලදී. පාඨමාලාවේ සමාප්ති දේශනය පැවැත්වූ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ ජෙනරාල්, මෙම පාඨමාලාවේ වැදගත්කම පිළිබඳ අවධාරණය කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කැපී පෙනෙන සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැකි මෙම පාඨමාලාව තුලින් උසස් තත්ත්වයේ වෘත්තීය පුහුණුවක් ලබාදෙන බව ද පෙන්වා දුන්නේය.

මාස හයක කාලසීමාවක් පුරාවට ලැබූ පුහුණුව තුලින් ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් ඔවුන්ගේ එක් එක් ක්ෂේත්‍රයන් පිළිබඳ හැකියාවන් ප්‍රවර්ධනය කරනු ලැබීය. පුළුල් විෂය දැනුමක් ලබාගත් ඔවුන් සිය ක්ෂේත්‍රයන්හි විශිෂ්ඨයින් ලෙස කටයුතු කිරීමට අවැසි ප්‍රවීණත්වය සහතික කරමින් පුළුල් තාක්‍ෂණික අංශ රාශියක් මෙම පාඨමාලාව තුලින් ආවරණය කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, පාඨමාලාධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.