Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th April 2024 11:08:20 Hours

ගජබා රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපතිතුමන් රාජකාරි අරඹයි

ගජබා රෙජිමේන්තුවේ 13 වන රෙජිමේන්තු අධිපති ලෙස යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පසුගිය බ්‍රහස්පතින්දා (අප්‍රේල් මස 11) දින සාලියපුර පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව පැවති උත්සවයකදී රාජකාරි භාරගත්තේය.

යුද්ධ හමුදාව තුළ ගෞරවනීය ධූරයක් වන රෙජිමේන්තු අධිපති ධූරය යුද්ධ හමුදාවේ මේජර් ජෙනරල් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත හිමිගන්වනු ලබයි. යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව විවිධ රෙජිමේන්තු සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් හෝ යුද්ධ හමුදාධිපතිතුමන් යටතේ සේවයේ නියුතු රෙජිමේන්තු තුළ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා විසින් රෙජිමේන්තු අධිපති ධූරය හොබවනු ලබයි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සියලුම රෙජිමේන්තු වල සමස්ත අණදෙන්නා වශයෙන් යුද්ධ හමුදාධිපතිතුමන් කටයුතු කරනු ලබයි. ඒ අනුව, ගජබා රෙජිමේන්තුව මෙහෙයවීමේ ගෞරවනීය කාර්යභාරය එතුමන් යටතේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වෙත පවරා දෙමින් යුද්ධ හමුදාධිපතිතුමන් සතු සුවිශේෂී නායකත්වය සහ ප්‍රවීණත්වය පෙන්නුම් කරයි.

ගජබා රෙජිමේන්තුව වෙනුවෙන් දැක්වූ ආදර්ශමත් නායකත්වය සහ කැපවීම ඇගයීමට ලක්කරමින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි වෙත මෙම ගෞරවනීය ධූරය යුද්ධ හමුදාධිපතිතුමන් විසින් 2024 අප්‍රේල් මස 08 දින භාරදෙනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා සපැමිණි මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ වෙත එම රෙජිමේන්තුවේ ප්‍රධාන දොරටුව අභියසදී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව මාණ්ඩලික නිලධාරින් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ඉන් අනතුරුව, ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ වන දිවංගත මේජර් ජෙනරල් විජය විමලරත්න පිළිරුවට පුෂ්පෝපහාර දැක්වු එතුමන් වෙත රෙජිමේන්තු සරඹ භූමියේදී හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන පෙළපාලියේ ගෞරවාචාරය ද පුදකළහ.

මහා සංඝරත්නයේ ‘සෙත් පිරිත්’ සජ්ඣායනා මධ්‍යයේ මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය. අනතුරුව, එතුමන් මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කර සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, 1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.බී. අමුණුගම ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් එක්ව සිටියහ.