19th February 2024 19:13:30 Hours
හපුතලේ ‘Melheim Resort’ හෝටලයේ රැඳීසිටි ජර්මනියේ සිට පැමිණි 76 හැවිරිදි සංචාරක ජෝසෆ් ෆෑනර් (Josef Pfanner) මහතා ප්‍රදේශයේ සංචාරය කිරීම සඳහා එම හෝටල් පරිශ්‍රයෙන් පිටව ගොස් ඇත. ඔහු 2024 පෙබරවාරි 14 බදාදා දින සන්ධ්‍යාවේ කොස්ලන්ද ප්‍රදේශයේදී අතුරුදහන් වී ඇති බැවින්, එතුමන් සොයාගැනීම සඳහා එම හෝටල් කාර්යය මණ්ඩලය විසින් යුද්ධ හමුදාවේ සහයෝගය ඉල්ලා සිටින ලදී.
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් එස්.ආර්.බී. අළුවිහාරේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත යුද්ධ හමුදා භටපිරිස් කඩිනමින් ක්‍රියාත්මක වී අතුරුදහන් වූ සංචාරකයා සෙවීමේ කටයුතු ආරම්භ කරනු ලැබීය. ඒ අනුව, යුද්ධ හමුදා ක්ෂණික විහිදුම් යතුරුපැදි කණ්ඩායමේ නිලධාරීන් දෙදෙනෙක් සහ සෙසුනිලයන් 14 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අයහපත් කාලගුණික තත්ත්වයන් මධ්‍යයේ අතුරුදහන් වූ සංචාරකයා බේරාගැනීමට කටයුතු කළහ.
යුද්ධ හමුදා භටපිරිස් මෙහෙයුම ආරම්භ කර පසුදින අලුයම වනවිට එම සංචාරකයා සොයාගත් අතර, ඔහු ආරක්ෂිතව එම හෝටලය වෙත රැගෙන යාමට කටයුතු කරනු ලැබූහ. එම ජර්මානු ජාතික සංචාරකයා යුද්ධ හමුදා භටපිරිස්හි කැපවීම ඇගයීමට ලක්කරමින් සිය කෘතඥතාවය පුදකළේය.