Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

කිලිනොච්චි භට පිරිස්හි සම්බන්ධිකරණයෙන් ප්‍රජා සේවා ව්‍යාපෘති රැසක්

පුද්ගලික අංශයේ සමාජ සේවා සංවිධායකයින්, කුණ්ඩසාලේ ආබාධිතයින් සඳහා වූ මධ්‍යස්ථානය, ගුණ ජය සතුට පදනම සහ 6 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ පූර්ණ සහයෝගය ඇතිව කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය විසින් ප්‍රජා සේවා සුබ සාධන ව්‍යාපෘති මාලාවක් ක්‍රියාත්මක කළ අතර, එවැනි තවත් වැඩසටහනක් සිකුරාදා (31) දින කිලිනොච්චි සහයෝගීතා මධ්‍යස්ථානයේ දී ක්‍රියාත්මක කළහ.

මිට පෙර කෘත්‍රිම අත් පා ලබාදුන් කිලිනොච්චි ප්‍රදේශයේ සිවිල් වැසියන් 11 දෙනෙකුගේ ආර්ථික හැකියාවන් වර්ධනය කිරිමේ අරමුණින් කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ ඉල්ලීමකට අනුව කුණ්ඩසාලේ පිහිටි ආබාධිතයන් සඳහා වූ මධ්‍යස්ථානය මඟින් ස්වයං රැකියාවල නිරතවීම සඳහා එක් අයෙකුට රුපියල් 20,000/= බැගින් වූ ණය මුදලක් මෙහිදි ලබාදුන් අතර, ඔවුන්ගේ ස්වයං රැකියා කටයුතු සාර්ථකව සිදු කරන්නේ නම් එම ණය මුදල රුපියල් 100,000/= බැගින් වැඩිකිරීමට ද ඔවුන් අදහස් කර ඇත.

තවද මෙහිදි තවත් ව්‍යාපෘතියක් ලෙස 6 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය විසින් ගුණ ජය සතුට පදනමේ සභාපති කුෂිල් ගුණසේකර මහතාගේ අනුග්‍රහය ඇතිව පැවැත් වූ රූපලාවන්‍ය හා ඇඳුම් නිර්මාණය කිරිමේ පාඨමාලා සාර්ථකව නිම කළ කිලිනොච්චි ප්‍රදේශයේ තරුණ කාන්තාවන් 35 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් වෙත ප්‍රවීණතා සහතික පත් පිරිනැමිම කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවනගේ මුලිකත්වයෙන් සිදු කළහ.

තවද මෙහිදි කිලිනොච්චි ප්‍රදේශයේ සේවයේ නියුතු හමුදා සාමාජිකයින් සඳහා ගුණ ජය සතුට පදනම විසින් පාපන්දු 20 ක් සහ වායු පිරවුම් උපකරණ 05 ක් ඇතුලු රුපියල් 35,000/= ක වටිනාකමකින් යුත් ක්‍රීඩා භාණ්ඩ තොගයක් ද ප්‍රදානය කරන ලදි. මෙම වැඩසටහන අවසානයේ කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති විසින් සභාව අමතමින් සහජීවනයේ සහ සංහිඳියාවේ වැදගත්කම අවධාරනය කරනු ලැබීය.

ගුණ ජය සතුට පදනමේ ප්‍රධානි කුෂිල් ගුණසේකර මහතා, ටොකියෝ සිමෙන්ති සමාගමේ සාමාන්‍යාධිකාරි බිලි වල්පොල මහතා, කුණ්ඩසාලේ ආබාධිතයින් සඳහා වූ මධ්‍යස්ථානයේ කාලිදාසන් මහතා, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් සහ සිවිල් වැසියන් විශාල පිරිසක් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Sport media | Nike Shoes