Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd November 2019 12:10:21 Hours

ක්‍රියාශීලී නායකයකු ලෙස නව ජනාධිපතිතුමන් හමුදා පුහුණුවේ ශක්තීන් නිදර්ශනය කරයි

සැලසුම් සහගත පුහුණුව, කැපවීම, නිවැරදිව අණදීම, පරිපූර්ණත්වය, නියමිත වෙලාවට වැඩ කිරීම, නිරවද්‍යතාවය, උසස් විනය, අධ්‍යාපනය හා අත්දැකීම් තුලින් පරිනත බව, ඉවසීම සහ තීරණ ගැනීමේ හැකියාව වැනි ගුණාංග සේවයට කැප වූ හා ආත්ම පරිත්‍යාගයෙන් යුත් හමුදා නායකත්වයේ ගුණාංගයන් වේ.

වර්ෂ 1949 ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ආරම්භ කළ අතර එදා සිට අද දක්වා ජාතියේ ආරක්‍ෂකයින් සහ රටේ හොඳම සේවා සපයන්නා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සුවිශේෂී පිළිගැනීමක් ඇති සමාජයේ සියලුදෙනා අගය කරන සාඩම්බර පුද්ගලයින් රැසක් බිහිකර ඇත.

ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපති ලෙස අතිගරු ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් ඉකුත් සඳුදා (18) දින පැවති ජන වරමින් මාතෘභූමියේ භාරකාරිත්වයේ වගකීම එතුමන් සතු කරගත්හ. ඉහත සඳහන් ලක්‍ෂණ හා ගුණධර්ම වලින් පරිපූර්ණ පුද්ගලයෙකු වන එතුමන් යුද්ධ හමුදාව වෙත ස්වර්ණමය පරිච්ඡේදයක් එක් කරමින් යුද්ධ හමුදාව තුලින් බිහිවූ ප්‍රථම ජනාධිපතිවරයා ලෙස එතුමන්ගේ උපදේශකයා වශයෙන් හැඳින්වෙන අභිමානවත් ගජබා රෙජිමේන්තුව සුවිශේෂී ස්ථානයක් හිමිකරගනු ලබයි.

උද්යෝගීමත් තරුණ නායකයෙකු ලෙස, වර්ෂ 1971 අප්‍රේල් මස 26 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක් වී දියතලාව යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් සාර්ථකව පුහුණුව හැදෑරීමෙන් අනතුරුව වර්ෂ 1972 මැයි මස 25 දින දෙවන ලුතිතන්වරයකු ලෙස අධිකාරියට පත් වූ එතුමන් ප්‍රථමයෙන්ම ශ්‍රී ලංකා සංඥා බලකායට හා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට මෙන්ම රජරට රයිෆල් බලකාය වෙත ඇතුළත් කරනු ලැබීය.

ගජබා රෙජිමේන්තුවේ පියා වන අභාවප්‍රාප්ත මේජර් ජෙනරාල් විජය විමලරත්නගේ දූරදර්ෂී පියවරක් වශයෙන් රජරට රයිෆල් බලකාය සහ විජයබාහු පාබල රෙජිමේන්තුව විසිරුවා හැරීමෙන් පසු වර්ෂ 1983 දී ගජබා රෙජිමේන්තුව ආරම්භ කිරීම සඳහා ද ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් සිය දායකත්වය ලබා දී ඇත. පසුව, 1 වන ගජබා රෙජිමේන්තු ඒකකය පිහිටුවීමෙන් අනතුරුව එතුමන් දිවංගත මේජර් ජෙනරාල් විජය විමලරත්න ගේ සෘජු අණදීම යටතේ ‘සී’ කාණ්ඩයේ අණදෙන නිලධාරි වශයෙන් ද පත් කරන ලදී.

අනතුරුව, 1 වන ගජබා රෙජිමේන්තුවේ 5 වන අණදෙන නිලධාරියා වශයෙන් ලුතිතන් කර්නල් ගෝඨාභය රාජපක්‍ෂ පත් කරන ලද අතර එතැන් පටන් එතුමන්ගේ යුද්ධ හමුදා ජීවිතය නව මගකට යොමු විය. පසුව, වර්ෂ 1990 දී වඩමාරච්චි හි පැවති (Liberation) සහ ‘ත්‍රිවිධ බලය’ මෙහෙයුම් හී අණදෙන නිලධාරියා ලෙස ද කටයුතු කිරීමේ වරප්‍රසාදය ද එතුමන් හට හිමි වූ අතර, තවද (Strike Hard) මෙහෙයුම් බලඇණියට ද ඔහු අණදෙනු ලැබීය. එමෙන්ම, වර්ෂ 1987 - 1989 කාලය තුළ දී ජේ.වී.පී. කැරැල්ල පාලනය කිරීම සඳහා ද එතුමන් දායක වූ අතර සිවිල් පරිපාලනය කිසිදු බලපෑමකින් තොරව පවත්වා ගැනීම සඳහා ප්‍රචණ්ඩත්වයේ උච්චතම අවස්ථාවේ දී මාතලේ දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ නිලධාරි වශයෙන්ද එතුමන් පත් කරන ලදී. වර්ෂ 1992 දී සක්‍රීය සේවයෙන් විශ්‍රාම ගැනීමට පෙර ශ්‍රී ජෝන් කොතලවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය සේනාවිධායක ලෙස ද සේවය කරනු ලැබීය.

නිර්භීතකම, ධෛර්ය සහ සටන් භූමියේ දැක්වූ විශිෂ්ට දක්‍ෂතාවන් ඇගයීම වෙනුවෙන්  ගෝඨාභය රාජපක්‍ෂ නිලධාරිතුමන් හට රණ වික්‍රම පදක්කම මෙන්ම රණ ශූර පදක්කම සහ තවත් පදක්කම් කිහිපයක් ප්‍රදානය කරන ලදී.

තවද, එතුමන් හිටපු ජනාධිපතිවරුන් තිදෙනෙකු වන ගරු ජේ.ආර්. ජයවර්ධන, ගරු ආර්. ප්‍රේමදාස සහ ගරු ඩී.බී විජේතුංග යන මැතිවරුන්ගෙන් ප්‍රථමයෙන්ම නිර්භීතකම වෙනුවෙන් අතිවිශිෂ්ට සම්මාන ලබා ගත් විරුවන්ගෙන් එක් අයෙකි. තවද, එතුමන් යුද්ධ හමුදාවේ සේවය කරන කාලය තුළ දී දේශීය හා විදේශීය පාඨමාලා කිහිපයකට ද සහභාගී වී ඇති අතර එහිදී, තරුණ නිලධාරී සංඥා පාඨමාලාව (පාකිස්ථානය), පාබල කණ්ඩ අණදෙන නිලධාරි පාඨමාලාව (පාකිස්ථානය), ප්‍රතිත්‍රස්ථ සහ කැලෑබද සටන් පුහුණු පාඨමාලාව (ඉන්දියාව), ඉන්දියාවේ වෙලින්ටන්හි අණ හා මාණ්ඩලික පාඨමාලාව යන පාඨමාලාවන් හදාරන ලදී. තවද, ඉන්දියාව පදනම් කරගත් අණ හා මාණ්ඩලික පාඨමාලාව හැදෑරීම සඳහා පැවති යුද්ධ හමුදා තේරීමේ විභාගයේදී කුසලතාවයන් අනුව පළමු ස්ථානය එතුමන් විසින් හිමි කරගන්නා ලදී.

කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය හැදෑරීමෙන් පසු ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් වර්ෂ 1983 දී මදුරාසි විශ්වවිද්‍යාලයෙන් ආරක්‍ෂක අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සම්පූර්ණ කළේය. මීට අමතරව, ගෝඨාභය රාජපක්‍ෂ මහතා වර්ෂ 1992 දී කොළඹ විශ්වවිද්‍යාලයෙන් තොරතුරු තාක්‍ෂණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද සම්පූර්ණ කරනු ලැබූ අතර වර්ෂ 2009 දී කොළඹ විශ්වවිද්‍යාලය විසින් එතුමන් වෙත ගෞරව ආචාර්ය උපාධිය ප්‍රධානය කරනු ලැබීය.

වර්ෂ 1992 දී ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයින් ඇමරිකාවට සංක්‍රමණය විය. එතුමන් කැලිෆෝනියාවේ ලොයෝලා නීති විද්‍යාලයේ (Loyola Law School) පද්ධති පරිපාලකයෙකු ලෙස සේවය කල අතර එහි පරිගණක පද්ධති ක්‍රියාත්මක කිරීමේදී, විශේෂයෙන් විද්‍යුත් සන්නිවේදන ක්ෂේත්‍රයේ වැඩි අත්දැකීම් ලබා ගැනීමට ද එතුමන් හට හැකි විය. එම අත්දැකීම් මාතෘභූමියේ ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා එතුමන් හට බෙහෙවින් උපයෝගී වූහ.

2005 වර්ෂයේ දී ගෝඨාභය රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කරන ලද අතර එහිදී, එතුමන් දක්‍ෂ ලෙස සම්බන්ධීකරණය කළ යුධ උපාය මාර්ගයන් දශක තුනක ත්‍රස්තවාදී යුද්ධය අවසන් කිරීමෙහිලා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය. එම කුරිරු යුද්ධය අවසන් වීමත් සමඟ එතුමන් ගේ අවධානය ප්‍රධාන වශයෙන් යොමු කරනු ලැබුවේ මාතෘභූමියේ ජාතික ආරක්‍ෂාව තවදුරටත් තහවුරු කිරීම සඳහා පියවර ගනිමින් දිවයින යථා තත්ත්වයට පත් කිරීම සඳහා ය. එම කර්තව්‍යය සාර්ථක කරගැනීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ වෙරළආරක්‍ෂක බලකාය වැනි ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය ආයතන සහ දෙපාර්තමේන්තු වල සහයෝගය භාවිතා කරනු ලැබීය. තවද, එතුමන් කොළඹ නගරයේ හදවත බඳු නාගරික සංවර්ධන අධිකාරියේ පාලනය භාරගැනීමෙන් අනතුරුව එය ලොව ආකර්ෂණීය හා අලංකාර ව්‍යාපෘතීන් වලින් විශිෂ්ඨතම සහ නවීන ව්‍යාපෘතියක් බවට පරිවර්තනය කරනු ලැබීය.

විශිෂ්ඨ පරිපාලකයෙකු ලෙස, එතුමන් බිම්බෝම්බ ඉවත් කිරීම සඳහා හමුදා මැදිහත්වීම , උතුරු හා නැගෙනහිර ප්‍රතිසංස්කරණ කටයුතු හා නැවත පදිංචි කිරීම්, එල්ටීටීඊ හිටපු සටන්කරුවන් 12,000 ක් පුනරුත්තාපනය කිරිම හා නැවත සමාජගත කිරීම අධීක්‍ෂණය කරනු ලැබීය. තවද, ජෙනරාල් ශ්‍රී ජෝන් කොතලවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය අංගසම්පූර්ණ විශ්වවිද්‍යාලයක් බවට පත්කිරීම සඳහා ද ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිය දායකත්වය සපයනු ලැබීය. එසේම, එතුමන්ගේ නායකත්වය හා ශක්තිමත්, ප්‍රතිපත්තිගරුක උපායශීලිත්වය දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ සංවර්ධනයට විශාල බාධාවක් වූ කුරිරු යුද්ධය අවසන් කිරීමට මෙන්ම එම ත්‍රස්තවාදයෙන් මාතෘභූමිය ආරක්‍ෂා කිරීමට බෙහෙවින් උපයෝගී වූහ.

තනි අපේක්‍ෂකයෙකු විසින් දිවයිනේ මැතිවරණ ඉතිහාසයේ මෙතෙක් ලබා ඇති ඉහළම ඡන්ද ප්‍රමාණය ලබාගනිමින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් වාර්තාගත ඡන්ද 6,924,255 ක් (52.25%) ලබා ගනිමින් ලැබූ විශිෂ්ඨ ජයග්‍රහණය තුලින් එතුමන් දිවයින එක්සේසත් කිරීමට දක්වන ඇල්ම මෙන්ම තම හෘද සාක්ෂියට එකඟව බැඳී සිටින බවට සාක්ෂි දරයි. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් සියලු නායකයින්ට ආදර්ශයක් ලෙස හමුදා නායකත්වයේ වටිනාකම ඉස්මතු කරමින් මවුබිමට සේවය කිරීම සඳහා වූ පොරොන්දුව යළිත් වරක් සනාථ කරයි.

සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායකයා ලෙස එතුමන්ගේ දූරදර්ශී මඟ පෙන්වීම යටතේ අනාගත උත්සහයන් සාර්ථක කරගැනීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු යුද්ධ හමුදාවේ සියළු නිලයින් මෙන්ම සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ සුභපැතුම් ද එතුමන් වෙත පිරිනමන අතර හැකි සෑම අවස්ථාවකම එතුමන් හට සහය දැක්වීමට බැඳී සිටියි.

අවසන් වශයෙන්, “සැබෑ නායකයෙකු ලෙස තනිව නැගී සිටීමට, දැඩි තීරණ ගැනීමට ධෛර්ය සහ විශ්වාසය මෙන්ම අන්‍යෝන්‍යය අවශ්‍යතාවන්ට ඇහුම්කන් දීමේ නිහතමානීභාවය ද ඇත. ඔහු නායකයෙකු පමණක් නොව ඔහුගේ ක්‍රියාවන් සහ අභිප්‍රායන් ද සමානාත්මතාව තුළින් නායකයකු පත්වේ.” එතුමන් ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ලෙස අනුරාධපුර පුදබිමේ දී සිදුකල ප්‍රකාශ තුලින් ඒ බව මනාව පිළිඹිඹු වේ.trace affiliate link | Womens Shoes Footwear & Shoes Online